රාජපක්ෂ පාලන සමයේදී වසර 2010 සිට 2014 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක ප්‍රශ්න රැසකට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න හමුවේ මුනිවත රකිමින් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව අසරණ වීමට සිදුවුණ බව හිටපු ගුවන්සේවා ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (23) ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින්ය.
පවතින තත්ත්වය යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවය මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙසට එවකට තමන් දැනුම්දුන්නද එය සිදුවූයේ නැති බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් මන්ත්‍රී ජයරත්න වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එවකට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඇමැතිවරයා ලෙස තමාව නොතකා ඍජුව ක්‍රියාකෙළේ මුදල් අමාත්‍යාංශය සහ මුදල් ඇමැති හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවයි.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අදාළව රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට බාධා සහ ප්‍රශ්න පැනනගින බව හා පැවතුන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට පෞද්ගලිකවම දෙවරක් දැනුම්දී සිටියත් පැවැති තත්ත්වයේ කිසිම වෙනසක් සිදුනොවුන බවද ඔහු පවසා ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුවේ මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාර මන්ත්‍රී ජයරත්න මහතා මෙසේ ද පවසා තිබේ.
ශ්‍රීලන්කන් ගුවන්සේවයට අදාළ සමහර වැදගත් ලේඛන දුටුවේ මේ කොමිසමේදී. අමාත්‍යාංශය භාර ඇමැතිවරයා ලෙස ඇමැති මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කළා. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාර සැලසුමක් ගැන දැනුවත්ව සිටියේ නෑ. අමාත්‍යාංශ ලේකම්වරයාට පස්වසරක සැලසුමක් භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කැර තිබුණි. ලේකම්වරයාගේ නිර්දේශ මත ඇමැති මණ්ඩල පත්‍රිකාව ඇමැති මණ්ඩලයට වසර 2011 මැයි 27 ඉදිරිපත් කළා. අමෙරිකා ඩොලර් මිලියන පන්සිය විස්සක මුදලක් එම පත්‍රිකාවෙන් ඉල්ලා සිටියේ ශ්‍රීලන්කන් ගුවන්සේවයට සහ මිහින් ලංකා ආයතනවලටයි. මෙම මුදල් වසර 2012 සිට අය-වැයෙන් වෙන් කිරීමට තීරණය වී තිබුණි. නමුත් මුදල් ලැබුණේ නෑ. ජාතික අය-වැයෙන් වෙන්කළ මුදල් අමාත්‍යාංශයට ලැබුණේ නෑ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අදාළව කිසිවක් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මා සමඟ සාකච්ඡා කෙළේ නෑ. ඇතැම් අවස්ථාවලදී ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහභාගි වුණා.
රුපියල් බිලියන දහහතරයි දශම දෙකක් බැඳුම්කර ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවයට ලැබුණද නොලැබුණද නොදනිමි. ඒ පිළිබඳව කිසිවකු මා දැනුවත් කෙළේ නෑ. ඒ පිළිබඳව සොයාබැලීමක්වත් කෙළේ නෑ. ඊට හේතුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය රේඛීය අමාත්‍යාංශය නොතකා ක්‍රියාකිරීමයි.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරු ශ්‍රීලන්කන් ගුවන්සේවය ගැන විෂයභාර ඇමැතිවරයා ලෙස මගෙන් ප්‍රශ්න ඇසුවා. එහිදී පිළිතුරු දීමට නොහැකිව අසරණ වුණා. එම නිසා සිවුපුද්ගල කමිටුවක් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ගුවන්සේවය පිළිබඳව සොයා බැලීමට නියම කළා. එම කමිටුවට ඉදිරියට යාමට නොහැකිවුණා. පස්අවුරුදු සැලසුමක් වසා කැපිටල් ආයතනයට ලබාදීම හා විදෙස් සහාය ලබාගැනීම, ගුවන්යානා මිලදී ගැනීමට සීබරී ආයතනයට පැවරීම මේ කිසිවක් මා දන්නේ නෑ. මාගේ මැදිහත්වීමක් සිදුවූයේ නෑ.

