ශ්‍රී ලංකා ක්‍රිකට් : බාලගිරි දෝෂය අවසන් !

ශ්‍රී ලංකා ක්‍රිකට් : බාලගිරි දෝෂය අවසන් !

ශ්‍රී  ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමේ බලය පැවරෙන නිලවරණ කමිටුව පත් කෙරෙන විශේෂ මහා සභා රැස්වීම ලබන මස 12වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශ ආරංචිමාර්ග වාර්තා කරයි.

දිගින් දිගටම කල්ගොස් තිබූ ක්‍රිකට් නිලවරණයට සෘජුව සම්බන්ධ ක්‍රීඩා සමාජ 84ක නියෝජිතයින්ට මෙම විශේෂ මහා සභා රැස්වීම පිළිබඳව ලිඛිත නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.

ක්‍රිකට් විශේෂ මහා සභාවේදී නව ක්‍රීඩා සංගම් නියෝග අනුව නිලවරණ කමිටුව පත් කෙරෙන අතර එයින් දින 60කට නොඅඩු කාලයකදී ඡන්ද විමසීමට අදාල නාම යෝජනා කැදවිය යුතු වේ.

ක්‍රීඩා පනත අනුව ක්‍රිකට් පරිපාලනයට නිලධාරීන් වශයෙන් තෝරා පත්කරනු ලැබීමට සුදුසුකම් ලබන අපේක්ෂකයන්ගේ සුදුසුකම් තීරණය කිරීමේ අධිකාරී බලය හා නිලවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය මෙම නිලවරණ කමිටුවට පැවැරී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මුලින්ම පැවැත්වීමට නියමිතව තිබුනේ පසුගිය අප්‍රේල් මස 27 වැනිදා වූ අතර තාක්ෂණික ගැටළු මත එය පසුගිය මැයි 19 වැනිදාට කල් ගියේය.

හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ අවසරය පරිදි විධායක කමිටු රැස්වීමකදී නිලවරණ කමිටුවක් පත් කිරීමට අවස්ථාව ලැබූ බව පවසා එම කමිටුව හිටපු නිළධාරීන් පත්කර ගත්තද, ව්‍යවස්ථාදායක ක්‍රමවේදය අනුගමණය කළ යුතු බවට පසුව පත්වූ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සමග හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස, මොහාන් ද සිල්වා මෙන්ම හිටපු ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු කල් දැමුණු ක්‍රිකට් නිලවරණයේදී සභාපති ධුරයට තරග වැදීම සඳහා නාම යෝජනා ඉදිරිපත් භාරදී තිබිණි. උප සභාපති ධූර වෙනුවෙන් මොහාන් ද සිල්වා, හිරන්ත පෙරේරා, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා යන මහත්වරු නාම යෝජනා ඉදිරිපත් කළහ.

ලේකම් ධූරයට ශම්මි සිල්වා, බන්දුල දිසානායක, හිරන්ත පෙරේරා, මොහාන් ද සිල්වා සහ නිශාන්ත රණතුංග යන මහත්වරු තරග වැදීමට නියමිතවූ අතර, උප ලේකම් ධූරයට බන්දුල දිසානායක, සමන්ත දොඩන්වල හා රවීන් වික්‍රමරත්න යන මහත්වරු අතර තරගයක් නිර්මාණයවී තිබිණි.

එම සියලු නාම යෝජනා දැන් අවලංගුවී ඇති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභාවේදී අලුතින් පත්වන නිලවරණ කමිටුව නැවැත නාම යෝජනා ඉදිරි කාලයේ කැදවනු ඇත.

කල් දැමුණු ක්‍රිකට් නිලවරණයෙන් පසු එහි පරිපාලන කටයුතු වෙනුවෙන් නිසි බළධාරීයා ලෙස පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගෙන ඇත.

runews.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න