ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට කටයුතු කරන ලෙසත් එසේ නොකර පිළිගත් සම්ප්‍රදායට පිටින් අමාත්‍ය මණ්ඩලය පත්කළහොත් අමාත්‍යංශ ඇතුළුව රාජ්‍ය ආයතන පද්ධතියම අක්‍රීයවීමේ අවධානමක් මතුවිය හැකි බව රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපති සිරිසේන හමුවී අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.
මෙම හමුව අද සිදුව ඇති අතර ඒ සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මෙන්ම කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලේකම් එස්. අමරසේකර, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගීව ඇත.
එහිදී ඔවුන් වැඩිදුරටත් ජනාධිපතිවරයාට පෙන්වාදී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන මන්ත්‍රීවරයාට බවත් එබැවින් දැනට පත්කර ඇති අගමැතිවරයා අවම වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටිටිය යුතු බවත් අනතුරුව අමාත්‍ය මණ්ඩලය පත්කළ හැකි බවත්ය. ඒ සඳහා පළමුව සිදුකල යුතුව ඇත්තේ පාර්ලිමේන්තුව වහාම රැස්කිරීම බවත් ඔවුන් පෙන්වාදී ඇත.
එසේම එම ආකාරයට හැර ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට අමාත්‍යවරුන් පත්කිරීමක් සිදුකල හොත් එය නීත්‍යානුකුල නොවන බැවින් තමන්ට ඔවුන් ඇමතිවරුන් ලෙස සළකා කටයුතු කිරීමට නොහැකි බවත් මෙම නිලධාරීන් අවධාරණය කර ඇති බවද ඔවුන් පෙන්වාදී තිබේ.
දේශපාලනඥයින් අද ඇවිත් හෙට ගියත් පරිපාලන නිලධාරීන් එසේ නොවන බවත් ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට කටයුතු කිරීමට ගොස් තම කීර්තිනාමය මෙන්ම සේවා වාර්තාවද කෙළෙසා ගන්න නිලධාරීන් සූදානම් නැති බවද ඔවුන් ජනාධිපතිවරයට දන්වා ඇත.

