අපේ කට්ටියක් යන්න හදනවා : රනිල් ආවොත් මම නෑ -  සිරිසේන ආසන සංවිධායකයන්ට කියයි

අපේ කට්ටියක් යන්න හදනවා : රනිල් ආවොත් මම නෑ -  සිරිසේන ආසන සංවිධායකයන්ට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් පිරිසක් පක්ෂයෙන් ඉවත්ව වෙනම ගමනක් යාමට සූදානම් වන බවත් ඒ හමුවේ යළිත් රනිල් වික්‍රමසිංහ වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට සිදුවන බැවින් එවැනි තත්ත්වයක් මතුවුවහොත් තමන් පැය භාගයක්වත් ජනාධිපති ධූරයේ නොසිට ඉල්ලා අස්වන බව ජනාධිපති සිරිසේන පවසා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ආසන සංවිධායකයන් අද (31) හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

සුද්දන්ට ඕනත් රනිල් -  රනිල් ආවොත් මම යනවා : ජනාධිපති සිරිසේන 

ජාත්‍යන්තරය නියෝජනය කරන කිසිඳු රටක් මෙතෙක් තමන් පත්කළ අගමැති වන මහින්ද රාජපක්ෂට සුභපතා නොමැති බවත් ඒ වෙනුවට ඔවුන් දිගින් දිගටම තම තීරණයට එරෙහිව බලපෑම් කරන බවද ජනාධිපතිවරයා පවසා ඇති අතර ඔවුන්ගේ සූදානම නැවත රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීම බවද පවසා ඇත.

ඒකනේ ! මරන්න කුමන්ත්‍රණය කරලනේ - දයාසිරි 

ඒ හමුවේ පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් ගැළවීයාමට දරන උත්සාහය කෙසේහෝ වළක්වා ගන්න තමන්ට උපකාර කරන ලෙසත් පවසා ඇති ජනාධිපතිවරයා තමන් මේ ආකාරයට මහින්දව අගමැති කරන්න තරම් තීන්දුවක් ගත්තේ තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති නිසා බවද පවසා ඇත.
එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදහස් දක්වමින් පවසා ඇත්තේ ජනාධිපතිගේ ස්ථාවරය නිවැරදි බවත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැළසුම් කළ ආණ්ඩුවක් කුමන හෝ ආකාරයට විසුරවා හැරීම කාටත් එකඟවිය හැකි කරුණක් බවය. එසේම නව අගමැති ලෙස මහින්ද මහතා පත්කිරීම ගැනද සියළු දෙනා සතුටු විය යුතු බවද ඔහු පවසා ඇත.

ඝාතන කුමන්ත්‍රණයට වඩා හොඳ කතාවක් නැද්ද - ආසන සංවිධායකයන්  

නමුත් ඒ අවස්ථාවේ නැගීසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසන සංවිධායක  බණ්ඩාර අතුකෝරළ මහතා විමසා ඇත්තේ යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීමට තිබූ ප්‍රධාන හේතුව "ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයද" කියාය. ඊට ජනාධිපතිවරයා හිස සලා "ඔව්" කියා ප්‍රතිචාර දක්වා ඇති අතර එහිදී  දැදිගම ආසන සංවිධායක  බණ්ඩාර අතුකෝරළ පෙරළා විමසා ඇත්තේ "ඝාතනය කරන්න හිටියා කියන අගමැතිගෙන් බේරෙන්න ඝාතනය කරන්න හිටපු කෙනා අගමැති කර ගැනීම මාර කතාවක්" බවය. 

මේ කතා කිසිවෙක් විශ්වාස නොකරන බවත් එනිසා පාක්ෂිකයන් ඉදිරියේ රෙද්දක් ඇඳගෙන කියන්නට හැකි කතාවක් අවශ්‍ය බවද ඔහු පවසා ඇත. මේ තීරණය හේතුවෙන් තමන්ගේ ආසන සංවිධායක ධූරය අහිමි කිරීමට පාක්ෂය තීරණයක් ගත්තත් තමන් ඒ පිළිගෙන ගෙදර යාමට සූදානම් බවද ඔහු පවසා ඇත.

දැදිගම ආසන  සංවිධායකවරයාගේ මේ කතාවට සහය පළකරමින් මීගමුව, නාවලපිටිය, මීරිගම, ඇතුළු ආසන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයින් කරුණු දක්වා ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න