ජවිපෙ නායක අනුර දිසානායක සොයුරා ඇතුළු දේශපාලන මණ්ඩල සාමාජිකයන් සහ පාක්ෂික සොයුරන් වෙත ලියමි..,
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකර ඇති ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී සහ සදාචාර විරෝධී නීච ක්‍රියාව දැනටමත් ඔබ පක්ෂය දැඩි ලෙස හෙළා දැක ඇත. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටත්, ජනතා පරමාධිපත්‍යයටත් එල්ල කළ මරු පහරක් බවද ස්ථිරවම ප්‍රකාශ කර ඇත.
ආයුධ සන්නද්ධ විප්ලවයකින් රාජ්‍ය බලය ලබා ගැනීම ගැන යළි කිසිදා විශ්වාසය නොතබන බවටත්, එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් සිදුවිය යුතු බවටත් ඔබ පක්ෂය දැන් දරණ මතය බවත් බොහෝ අවස්ථාවන්හිදී ඔබලා ප්‍රකාශ කර ඇත.
ඒ අභිප්‍රාය ඉටුකර ගැනීමට නම් දැනට පවතින ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිතව තිබිය යුතු බවට ඔබලාත් මාත් අතර තර්කයක් නැත.
ඔබත් අත එසැවූ 19 වන සංශෝධනය ගැන පවා නොතකා විධායකය සිතූ සිතූ වේලාවට නීත්‍යාණුකූලව පත්වී සිටින අගමැති කෙනෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ඉවත් කර තමන්ට රිසි අය ඒ වෙනුවට පත් කැර ගෙන රාජ්‍ය බලය පැහැර ගැනීම පළමු අවස්ථාවේදීම පරාජය නොකළහොත් ඒ ඉරණම අනාගතයේ දිනෙක ඔබේ පක්ෂයට ද උරුම වනු ඒකාන්ත ය.
පාර්ලිමේන්තුව නීති විරෝධීව කල් තබා (කතානායකතුමාට නොදන්වා) විධායකයට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය රැස්කර ගැනීම පිණිස ප්‍රකෝටි ගණනින් මුදල් දී මන්ත්‍රීවරුන් ඩැහැ ගැනීමේ නිර්ලජ්ජිත සූදුව පරාජය කිරීම පුද්ගලයෙකු පිළිබඳ ගැටළුවක් නොවන්නේ ය. කවර හෝ රාජ්‍යයක් තමන්ට රිසි අයෙකු පත් කර ගැනීමට මුදල් මලු විසි කරන්නේ නම් එය ලැබෙන පළමු අවස්ථාවේම පරාජය කළ යුතු වන්නේය.
දෙමළ ජාතික සන්ධානය දැනටමත් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් කියා ඇත්තේ “මධ්‍යස්ථව” සිටීම අරාජිකත්ව ජය ගැනීමට ඉඩ දෙන “ක්‍රමයක්” බවය.
එහෙයින් ප්‍රිය සගයිනි..,මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගල නාමය අමතක කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තම ස්ථාවරය ඍජුවම රටට ප්‍රකාශ කරන මෙන් සහෝදරත්වයෙන් ද, හැට දෙලක්ෂයක ජනතාව වෙනුවෙන්ද, යුක්ති ගරුකත්වය වෙනුවෙන්ද ඉල්ලා සිටිමි.
එසේ නොවුනහොත් අද රනිල් වික්‍රමසිංහට වූ දේ හෙට දවසේ ජනතා විමුක්ති පෙරමුණේ අගමැතිවරයෙකු ඇතුළු කැබිනට් මණ්ඩලයකට ද කවුරුන් හෝ විධා-යකෙකුගෙන් සිදුවීම නොවැලැක්විය හැකිය.
මෙයට
සහෝදරත්වයෙන්
පෝද්දල ජයන්තශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානයේ හිටපු ලේකම්
2018 නොවැ 04 දා නිව්යෝර්ක්හි සිට

