Language Switcher

V2025

ශ්‍රිලනිපයම කැළඹේ : මහ ලේකම්ට ඇමතුම් පිට ඇමතුම් !

ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරවා මහා මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට පුවත් පළවීමත් සමඟ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකයන් අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

ඒ ජනාධිපතිවරයා සිය කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම සඳහා එක්කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශවය ඉදිරියේ පැවැත්වෙන සෑම මැතිවරණයක් සඳහාම පොහොට්ටුව ලකුණ යටතේ පොදුජන පෙරමුණ නමින් පෙනී සිටින බවට නිල නිවේදනයක් නිකුත්කර ඇති නිසාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඊයේ (06) එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තම පක්ෂ තීන්දුව ප්‍රසිද්ධ කරනු ලැබිණ. ඒ සමඟ අද (07) පාර්ලිමේන්තුව හදිසියේ විසුරවා හරින්නට ජනාධිපතිවරයා සූදානම් වන බව දැනගැනීම හමුවේ ආසන සංවිධායකයන් බියට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණ ලැයිස්තුවකින් මැතිවරණයට ඉදිරිපත්වීමට නාම යෝජනා ලැබුවත් ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබීම සම්බන්ධව විශ්වාසයක් නොතිබීම නිසාය.

මේ වන විටත් ආසන සංවිධායකයන් රැසක් ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියසේන අමතා මේ පිළිබඳ විමසා ඇති අතර එහිදී ඔහු නිශ්චිත පිළිතුරක් ලබාදී නොමැති බවද වාර්තා වෙයි.

එසේම ඇතැම් සංවිධායකයන් දුරකතනයෙන් අමතා "ඔයා මහින්දගේ මිනිහා, අන්තිමට ජනාධිපතිගේ ඔළුවත් කාලා පක්ෂයත් කෑවා" කියමින් බැන තර්ජනය කර ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයෙකු පවසා සිටියේ  තමන් ජනාධිපතිවරයා ගනුලබන තීන්දු තීරණ සම්බන්ධව දැනුවත් භාවයක් නොමැති බව  පක්ෂ මහ ලේකම්වරයා පවසන බවත්  තීන්දුවක් ලැබෙන තුරු කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවද දන්වා ඇති බවත්ය.

කෙසේ වුවත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නිසි ලෙස සිදුනොකළ පසුබිමක මහ මැතිවරණයක් කැඳවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මරු පහරක් විය හැකි බවත්, පක්ෂය ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය ලැබීමට හිත හදාගැනීම හැර වෙනත් කිසිවක් අපේක්ෂ්කා කල නොහැකි බවද ඔහු පැවසීය.

එසේම මේ වන විටත් ශ්‍රීලනිප බිම් මට්ටමේ සාමාජිකයන්ව පොහොට්ටු සාමාජිකයන් අතින් විවිධ අඩන්දෙට්ටම් වලට ලක්වී ඇති බැවින් ඔවුන් පක්ෂය සම්බන්ධව දැඩි කළකිරීමකින් පසුවන බවත් ශ්‍රීලනිපයේ ගමනක අවසානය හැර අන් යමක් මේ හමුවේ තමන් වැන්නන්ට  දකින්න නොලැබෙන බැවින් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට බොහෝ දෙනෙකු තීන්දු කරනු නියත බවද ඔහු පවසයි.

දුමින්ද අසරණ වෙලා !

ඒ අතර මේ වන විට දුමින්ද දිසානායක අමාත්‍යවරයටද ගැළවුමක් නොමැති තරම් ඇමතුම් ලැබෙන්නට ගෙන ඇති බවත් වාර්තා වෙයි. 

අමාත්‍යවරයාට සමීප ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂවරුන් සමඟ නොගිය තමන් ඇතුළු පිරිස අවසානයේ දේශපාලන අනාථයන් බවට පත්ව ඇති බව පවසමින් අමාත්‍යවරයාට ද ශ්‍රීලනිප ආසන සංවිධායකයින් දුක්ගැනවිලි ඉදිරිපත් වෙමින් ඇති බවය.

ලැබෙන ඇමතුම්වලදී සංවිධායකයන්ගේ දුක අසා සිටින අමාත්‍යවරයා ඉවසීමෙන් බලා සිටිනවා හැර තමන්ටත් කරකියා ගන්නට දෙයක් නැති බව පවසන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.