ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවිය යුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට අද ( 11) අමාත්‍ය මහින්ද අමරවීරගේ කොළඹ නිවසේදී මෙම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ හමුව සිදුව ඇති අතර එහිදී අමාත්‍ය සරත් අමුණුගම පළමුව යෝජනාව ගෙන එමින් පවතින දේශපාලන වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පොදු සන්ධානයකින් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම ප්‍රතික්ෂේප කල යුතු බව සඳහන් කර ඇත.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක,විජිත් විජයමුණි සොයිසා, ඇතුළු අමාත්‍යවරුන් රැසක් මේ යෝජනාවට එකඟතාව පළකර ඇත.
කෙසේ වුවත් එහි සහභාගීව සිටි තවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා මුණගැසී මේ ගැන සාකච්ඡා කළ යුතු බවය. එහිදී එම යෝජනාවට කිසිවෙක් සෘජු එකඟතාවක් දක්වා නැති අතර කිහිපදෙනෙකුම පවසා ඇත්තේ සියල්ල පාවාදී ජනාධිපති අපේක්ෂකත්වය පතා සිටින කෙනා සමඟ සාකච්ඡා කිරීම තේරුමක් නොමැති දෙයක් බවය. එසේම ඔහු සම්බන්ධව තවදුරටත් විශ්වාසය තැබීම සම්බන්ධව ප්‍රශ්නයක් ඇති බවද එහිදී අදහස් පලව තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු බැවින් වෙනත් කිසිම පක්ෂයක් යටතේ මැතිවරණයකට යාමේ අදහසක් නැති බවය. එසේම පොහොට්ටුව යටතේ තරග කරන්නට තීරණය කළහොත් තමන් මැතිවරණයට ඉදිරිපත් නොවී ගෙදර යන බවද ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

