ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද (14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වූ බවත් එහිදී ජනාධිපතිවරයා පත්කළ අග්‍රාමාත්‍යවරයාවූ මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්ද 122ක් ලැබුණ බව කතානායක කරු ජයසූරිය විසින් ජනාධිපතිවරයා දැනුවත්කර ඇති බව වාර්තා වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කරන අතර ගරු ජනාධිපතිතුමන් විසින් පසුගියදා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධි බවට සදහන් මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් තබන ලද ලිපියේ පිටපතක් ද ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගැනීම සදහා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කථානායකතුමන් විසින් පියවර ගනු ලැබූ බවද එහි සඳහන්ව ඇත.
කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.
"ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නියෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන ලදී.
ඒ පිලිබඳව සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසීමක් යෝජනා කෙරුණු අතර, එහිදී බහුතරයේ එකඟත්වයෙන් ස්ථාවර නියෝග අත්හිටුවන ලදී.
ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලදී. අද දිනම ඒ පිලිබඳව සභාවේ මතය විමසිය යුතු බව ද ඔවුහු යෝජනා කළහ.
ඒ අවස්ථාවේ දී විපක්ෂයෙන් බෙදීමක් ඉල්ලා සිටි අතර, බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු කථානායකතුමා විසින් ඡන්ද විමසීමට නියෝග කරන ලදී.
එහිදී විශ්වාස භංග යෝජනාවට පක්ෂව බහුතරය ඡන්දය ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව බහුතරයෙන් සම්මත වූ බවට ගරු කථානායකතුමන් විසින් සභාව වෙත නිවේදනය කරන ලදී.
ඉන් අනතුරුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමන් විසින් හෙට පෙ:ව 10.00 දක්වා සභාව කල් තැබිය යුතු බව ට යෝජනා කරන ලද අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමි විය."

