Language Switcher

V2025

පොදු අපේක්ෂකයා තෝරපු හැටි..! අගවිනිසුරු කියපු කතා..!

සෝභිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ආරම්භ කළේ මහින්දව පරාජය කොට විධායක ජනාධිපති බලය අහෝසි කරන්න පොරොන්දු වෙන පොදු අපේක්ෂකයෙක් දිනවන්නටය. සෝභිත හිමි විධායක ජනාධිපති බලයට එරෙහි සටන පටන් ගත්තේ ජේ. ආර්. විධායක ජනාධිපති ධුරයට පත් වූ දින සිටිය.

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ආරම්භ කරන විට විධායක ජනධිපති බලය අහෝසි කරන්න පොරොන්දු වී ජනාධිපති ධුරයට පත් ජනාධිපතිවරු එම පොරොන්දුව ඉටු නොකිරීම නිසා සෝභිත හිමි සිටියේ හොදටම හෙම්බත් වෙලාය.

සෝභිත හිමි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය පටන් ගත්තේ එම පොරොන්දු අකුරට ඉටු කරයි කියලා හිතපු අපේක්ෂකයෙක් ගැන හිතේ තියාගෙනය. ඒ කරු ජයසුරියය. කරු ජයසුරියත් සෝභිත හිමිගේ ව්‍යාපාරය පිටුපස යෝධ හස්තයක් සේ සිටියේ සෝභිත හිමිගේ තේරීම හොඳින් තේරුම් අරගෙනය.

කරුව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස සෝභිත හිමි එජාප නායකයන් සමග පැවතී සාකච්ඡාවකදී කීවත් රනිල් කිවේ සෝභිත හිමිට අවශ්‍ය පොදු අපේක්ෂකයෙක් නම් ඔහු එජාපයෙන් ඉදිරිපත් නොවිය යුතු බවය.සෝභිත හිමිගේ යෝජනාවට ලොකුම විරෝධය එල්ල වුයේ චන්ද්‍රිකාගෙන් ය. ඇය කිවේ පොදු අපේක්ෂකයා ශ්‍රීලනිපයෙන් තෝරා ගත යුතු බවය.

කෙසේ හෝ චන්ද්‍රිකා පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාලව ආණ්ඩුවෙන් එලියට අරන් එන විට සෝභිත හිමි අපේක්ෂකයා කවුද කියා දැන  සිටියේ නැත.

සෝභිත හිමි සාධාරණ සමාජයෙන් සහ කරුගෙන් ඇහුවේ මෛත්‍රීපාලව විශ්වාස කරන්න පුලුවන්ද කියා පමණය.චන්ද්‍රිකා එය සහතික කරනවා කියා කරු ඒ සහතිකය සෝභිත හිමිට දුන්නේය. මෛත්‍රීපාලව  නාග විහාරයට ගෙන ඇවිත් සෝභිත හිමිගේ පොරොන්දු ඉටු කරන බවට සහතික කෙරෙව්වෙත් කරුය. හැබැයි සෝභිත හිමි අපවත් වී වසර දෙකක් ගත වන විට සෝභිත හිමිගේ පොරොන්දු වෙනුවෙන් මෛත්‍රීපාල එක්ක සටන් කරන්න වෙයි කියල කරු එදා මෛත්‍රීපාලව නාග විහාරයට රැගෙන ආ දින නොසිතන්න ඇත.

ඒ වගේම සෝභිත හිමි කරුව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරද්දී එයට විරුද්ධ වී මෛත්‍රීපාලව කරේ තියාගෙන ගිය රනිල්-චන්ද්‍රිකා ඇතුළු එජාප ප්‍රබලයන් තමන්ට කෙදිනක හෝ මෛත්‍රීපාලගේ විධායක බලයෙන් ආණ්ඩුව බේරා ගන්න කරුගේ පිහිට පතන්න වේ යැයි හීනෙකින්වත් නොසිතන්නට ඇත.

මෛත්‍රී සහ මහින්ද මේ ගේම් එක ප්ලෑන් කරන විට රෝඩ් මැප් එකක් ඇන්දේය. මේ රෝඩ් මැප් එකේ ඔවුන් දෙදෙනා කරුව සලකුණු කරලා තිබුනේ ඔවුන්ගේ ඉත්තෙක් විදිහටය. මෛත්‍රී හිතාගෙන සිටියේ කරු රනිල්ට විරුද්ධය කියාය. තමා කරුට අගමැති ධුරය  දෙන්න කතා කළ නිසා කරු තමාව ආරක්ෂා කරනු ඇතැයි  මෛත්‍රී හිතුවේය.

රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කළ විට කරුට පක්ෂ නායකත්වය ලේසියෙන්ම ගත හැකි නිසා කරු මේ ගේමට සහය දෙනු ඇතැයි මෛත්‍රී සහ මහින්ද  යන දෙදෙනාම ගණන් බලන්න ඇත. හැබැයි එය එසේ නොවී කරු පාර්ලිමේන්තු බලය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න නැඟී සිටියේ සෝභිත හිමිගේ නොපෙනෙන බලයක මහිමයෙන් දැයි කියන්න දන්නේ නැත.

මහ සිකුරාදා ලක්ෂ 62ක ජන වරම පාවාදෙන රෝඩ් මැප් එකේ තව තීරණාත්මක ලකුණක් වුයේ අගවිනිසුරුය. අගවිනිසුරු ඩෙෆ් වීරසිංහ විශ්‍රාම ගිය විට මෛත්‍රීපාල අගවිනිසුරු ධුරය සඳහා නම් කර හැරියේ මහින්දගේ ආණ්ඩු කාලයේ නීතිපති ධුරයට පත් කළ ඊවා වනසුන්දරවය. එත් ව්‍යවස්ථාදායක සභාව නම් දෙකක්  එවන ලෙස යෝජනා කළේය. මෛත්‍රී නලින් පෙරේරාගේ නම අගවිනිසුරු ධුරයට යැවුවේ ඉන් පසුවය. ව්‍යවස්ථාදායක සභාව ඒ නම අනුමත කළේය.

අගවිනිසුරු නලින් පෙරේරා ආන්දෝලාත්මක චරිතයක් නොවේ. ඔහුව පත් කිරීමෙන් පසු මෛත්‍රීපාල කිවේ මෙවැනි කතාවකි.

“අතීතයේ කිහිප අවස්ථාවකදීම අගවිනිසුරුවරු පත් කර තිබෙන්නේ ජේෂ්ඨතාව සලකා නොවේ. දේශපාලන, පෞද්ගලික කාරණා හෝ පක්ෂය සලකා බලලායි. නමුත් ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට ජේෂ්ඨතම, අත්දැකීම් බහුල අගවිනිසුරුවරයෙක් මම පත් කරලා තියෙනවා..”

අගවිනිසුරු නලින් පෙරේරාද ඔහුව පිළිගැනීම සඳහා සංවිධානය කොට තිබු උත්සවයේදී කිවේ තමා පහලම තැනින් පටන් ගෙන අගවිනිසුරු පුටුවට ආ අයෙක් කියාය. ඔහු එම කතාවේදී නීතිඥයන්ට අපුරු උපදෙසක් දුන්නේය.

“ඔබ සටන් කළ යුත්තේ රණශුරයකුගේ කඩුවෙන් මිස ඝාතකයෙකු අතැති පිහියකින් නොවේ…”

ඇත්තටම රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව මායිම් නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය  විට ජාති,ආගම,කුල භේදයකින් තොරව එක්සත් ජාතික පක්ෂය,ජවිපෙ, දමිල ජාතික සන්ධානය සහ මුස්ලීම් පක්ෂ අධිකරණයේ පිහිට පතපු විට අගවිනිසුරුවරයා පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන නීතියේ රණශුරයා ලෙස අසිපත ඔසවමින්ය.

ඔහු මේ අසිපත එසවූයේ ව්‍යවස්ථාව උල්ලංගනය කළ විධායකයේ ගැසට් තීන්දුවට එරෙහිව පමණක් නොවේ. කෙදිනක හෝ උතුරේ දමිල කොටි ඩයස්පෝරාවේ සහයෙන්  බලයට එන මහ ඇමතිවරයෙක් පළාත් සභාවේ තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිලක් හොයාගෙන ඉන් රිංගා ගොස් වෙනම රාජ්‍යක් ප්‍රකාශයට පත් කිරීමට තියෙන ඉඩ අහුරා දමන්නටය. යුද්ධයේ අවසන් කාලයේ ප්‍රභාකරන් බේරා ගන්න සටනක් කළ  තමිල්නාන්ඩුවේ ප්‍රාන්ත මන්ත්‍රී විමුක්ති දිවියා සංවිධානයේ නායකයා වූ තොල් තිරුමාවලන් උතුරට ගොස් විග්නේශ්වරන් සමග කොටි සංවිධානයේ ජාතික පුෂ්පය නියඟලා මලේ ලාංඡනය පැළඳ එල්.ටි.ටි.ඊ. සොහොන් බිමේ  ආචාර සමාචාර උත්සවයක් පැවැත්වුයේ මෛත්‍රී-මහින්ද හවුල ව්‍යවස්ථාවේ හිල් හදා හිල්වලින් රිංගා යද්දීය.

අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඔවුන් එසේ කතාකරන්නේ නම් කොටි ව්‍යවස්ථාවේ සිදුරු වලින් රිංගා උතුරට වෙනම ව්‍යවස්ථාවක් සම්මත කරන බවත්,ඒ වගේම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අහෝසි කොට හිට්ලර්ගේ වයිමා ජනරජ ව්‍යවස්ථාව වගේ ව්‍යවස්ථාවක් ගැසට් එකකින් එලියට එයි කියන බයෙන් විය යුතුයි.

කතානායකතුමා වීරයා සහ අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් ව්‍යවස්ථාව ආරක්ෂා කර  ගන්න පෙරට ආවේ එස්. මහින්ද හිමිගේ “ජාතික තොටිල්ල”මේ කවි පදය සිත්හි දරාගෙනද කියන්න දන්නේ නැත.

බල භේදය                            ලියලන්නේ

ජාතික බැමි                           පුපුරන්නේ

මේ රට මේ                           විපතින්නේ

නුඹද පුතේ                            ගලවන්නේ
උපුල් ජෝශප් ප්‍රනාන්දු