Language Switcher

V2025

ආර්ථිකය විනාසයි : අල්ල ලෙවා කහට බොමු  : මුදල් අමාත්‍යාශ ලේකම් පිළිගනී !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය සහනාධාර අත්හිටුවීම ඇතුළු රාජ්‍ය ආදායම් මුලාශ්‍ර වලට සිදුවෙමින් පවතින බලපෑම් සහ මෙරට ඩොලර් සංචිත විදේශයන් වෙත ඇදීයාම ඉහළ යාම හමුවේ 2019 වසරේ බරපතල මුල්‍ය අර්බුදයකට මුහුණදීමට මෙරටට සිදුවනු ඇති බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

එසේම රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් නොමැති වීම හේතුවෙන් අසරණ තත්වයට පත් වී ඇති බවත් 2019 වසරේ ලංකා ඉතිහාසයේ විශාලතම ණය පොළී වාරිකය පවා ගෙවීමට සිදුව ඇති බැවින් ආර්ථික අර්බුදය වඩාත් උග්‍රවනු ඇති බවද ඔහු සඳහන් කරයි.

හදිසියේ බලයට පැමිණි ආණ්ඩුව දියත්කළ ක්ෂණික බදු සහන කිසිසේත්ම රටේ ජනතාවට සුභදායක නොවනු ඇති බවත් ආර්ථික අර්බුදය උග්‍ර වීම වළක්වා ගැනීමට දියත්කෙරෙන වැඩපිළිවෙලක් තුළ නියත වශයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති බදු ප්‍රතිශත වැඩිකිරීමට සිදුවනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එසේම පවතින තත්ත්වය කඩිනමින් කළමනාකරණය කර නොගතහොත් ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවීමේ දුෂ්කරතාවක් මතුවීමද නොවැලක්විය හැකි වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එසේම  මේ වසර අවසානය වනතෙක් සිදු කිරීමට තිබෙන ව්‍යපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අරමුදල් නොමැති වීමේ අර්බුදයකද මතුවෙමින් ඇති බවත් කඩා වැටෙමින් තිබූ ආර්ථිකය පසුගිය වසර තුන තුළ කළමනාකරණය කරගනිමින් සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් ඇති මොහොතේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවූ කම්පනය වඩාත් දැඩිව ආර්ථිකයට බලපාමින් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ  මෙම ගැටළුවට  එකම විකල්පය අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා යොදවා ඇති අරමුදල් අත්‍යවශ්‍ය ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා යොදා ගැනීම බවයි.  මෙම තත්වයට මුහුණ දීමට සිදු වූයේ පසුගිය සති තුන තුළ පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා සිදුවීමත් සමඟ බවද  ආටිගල මහතා පවසා ඇත.

මේ නිසා ඉන්ධන මිළදී ගැනීම, විදුලි බල උත්පාදනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් අත්‍යශ්‍ය අංශවලට අවශ්‍ය අරමුදල් වෙනත් අමාත්‍යංශවලින් ලබා ගත් බව ආටිගල මහතා වැඩිදුරටත් පවසා තිබේ. එලෙස සොයා ගත් අරමුදල් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දී තිබෙන බවද ඔහු සඳහන් කරයි.  

යම් හෙයකින් මාර්ග සංවර්ධන අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘති වැනි ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය වුවහොත් ඒ සඳහා ජනාධිපති සිරිසේන මැදිහත් වී මුදල් ලබා දෙන බව ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.  කෙසේ නමුත් වාර්ෂික අයවැය ලේඛනය ප්‍රමාද වීම හේතුකොටගෙන  ලබන වසරේ පළමු මාස තුන සඳහා මුදල් අමාත්‍යංශය විසින් යෝජනා ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බවද ආටිගල මහතා පවසයි.

එම යෝජනාවන් අමාත්‍යංශ සඳහා වූ වාර්ෂික වියදම පදනම් කරගෙන සකස් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය සඳහා ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට යොමු කරන බවද ලේකම්වරයා සඳහන් කරන අතර ඒ තුළ විදෙස් ණය ගෙවීම සඳහා ද ගත යුුතු පියවරයන් ඇතුළත් වන බවත් පවසා ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ නව ව්‍යාපෘති ආරම්භ නොකරන මුත් දැනටමත් ආරම්භ කර ඇති ව්‍යාපෘති ඒ අයුරින්ම පවත්වාගෙන යන බවයි. 

සන්ඩේ ටයිම්ස් වාර්තාව පහත දැක්වේ.