Language Switcher

V2025

පොළොන්නරුවේ සහ  මැදමුළන ආචාරියන් සියක් කඩතොළු හදා අවසන් - නලීන් බණ්ඩාර

"එකක් කඩතොළු වසාගන්නට ගොසින් මට වූ කාරියා. දෙකක් කඩතොළු සදා ගත්තැයි ඉඳුරුවේ ආචාරියා" මේ අපේ පැරණි ප්‍රස්ථා පිරුල වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කොට පොළොන්නරුවේ ආචාරියාත්, මැදමුළන ආචාරියත් විසින් කඩතොළු එකක් වසාගන්නට ගොස් කඩතොළු රාශියක් හදාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර  මේ ආචාරියන් දෙදෙනා විසින් අපේ ව්‍යවස්ථාව, ආර්ථිකය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය, රටේ කීර්තිනාමය හා අපේ අභිමානයත් කඩතොළු කළාසේම පොහොට්ටුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් කඩතොළු කළ බවද පැවසීය.

පොහොට්ටුව කඩතොළු කිරීම සම්බන්ධයෙන් තම පාර්ශවය  සතුටට පත්වන අතර, එක්සත් ජාතික පක්‍ෂයේ තිබූ ඇතැම් කඩතොළු වසා දැමීමට කටයුතු කිරීම පිළිබඳව පා.ම මහින්ද රාජපක්ෂට හා ජනාධිපති සිරිසේනට ස්තූතිවන්ත වන බවද වැඩි දුරටත් පැවසීය.

තවදුරටත් අදහස් පළ කළ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා,

මන්ත්‍රීවරු 225 දෙනා කිව්වත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබානොදෙන බව සිරිසේන ජනාධිපතිවරයා කියනවා. එතුමා සමඟ සිරිසේන උන්නැහේ තුළ පවතින වෛරය පිළිබඳව අපට පුදුමයි සිරිසේන ජනාධිපතිට ඔය තැනට එන්න ඉඩ හදලා දුන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතෙක් කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාට ‍දොස් නගා නැහැ. අපිත් පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට ඇතැම් අවස්ථාවල ජනාධිපති විවේචනය කරද්දී එසේ නොකරන ලෙස එතුමා අපටත් තරවටු කොට තිබෙනවා. පසුගියදා රෝ ඔත්තු සේවය තමා ඝාතනය කරන්නට කටයුතු කරනවා යැයි ජනාධිපති සිරිසේන අපේ හිතමිතුරු අසල්වැසි රටවන ඉන්දියාව සමඟ ප්‍රශ්නයක් ඇති කරගත් අවස්ථාවේ, ඉන් සති දෙකකට පමණ පසු ඉන්දියාවේ සංචාරයකට ගිය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිරිසේන ජනාධිපතිවරයා ආරක්‍ෂා කළා. දැන් සිරිසේන ජනාධිපතිවරයා රට හමුවේ මාධ්‍ය තුලින් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විවිධ චෝදනා ඉදිරිපත් කළත් අපේ අගමැතිතුමා ඉවසිලිවන්ත බුද්ධිමත් නායකයෙකු හැටියට කටයුතු කරනවා සේම කොතැනකදී හෝ ජනාධිපතිටදොස් නගා ඇත්දැයි ඔප්පු කරන ලෙස අපි අභියෝග කරනවා.