මට කරපු සියල්ල "බමුණ", ඔබට බාරයි : සිරිසේනට රනිල්ගෙන් කන පැලෙන උත්තරයක් ! (වීඩියෝ)

මට කරපු සියල්ල "බමුණ", ඔබට බාරයි : සිරිසේනට රනිල්ගෙන් කන පැලෙන උත්තරයක් ! (වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් වෙත එල්ල කරන ලද සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ පැවැසීය.

“මේ තාච්චිය කතා කරන්නේ, අපි ඔක්කොම එකතුවෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය තුරන් කිරීම, සංවර්ධනය, සාමය හා සංහිඳියාව” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදයේදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය. 

රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද කීය. 

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී කතා කළේ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ගැන නෙමෙයි රනිල් වික්‍රමසිංහ ගැනයි. මම දේශපාලන කරුමයක් කිව්වා. මට අවලාද නැගුවා. මට චෝදනා කළා. මට නිග්‍රහ කළා. මට අපහාස කළා. මට දොස් කිව්වා. මට බැන්නා. එහෙත් ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.

මම මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙනවා. මට අනෙක් අයගේ සංස්කෘතිය ගැන කියන්න බැහැ. සංයුක්ත නිකායේ අක්කෝස සූත්‍රයේ ගාථාවක් උපුටා දක්වමින් මං මගේ සංස්කෘතියෙන් පිළිතුරු දෙනවා.

බුදුන් වහන්සේ රජගහ නුවර වෙසෙන සමයේදී අක්කෝස භාරද්වාජ බමුණා ගිහින් උන්වහන්සේ මුණ ගැසුණා. අක්කෝස භාරද්වාජ බමුණා බුදුන් රජාණන් වහන්සේට බැන්නා, නිග්‍රහ කළා, අපහාස කළා, අවලාද නැගුවා, දොස් කිව්වා. ඒ සියල්ලට සවන් දුන් බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා.

බමුණ, ඔබට මිතුරන්, නෑදයන්, දන්න පිරිස් හිතවන් ඉන්නවද ? ඔව් මට ඉන්නවා යැයි බමුණා පිළිතුරු දුන්නා. ඔවුන් ඔබේ නිවසට පැමිණෙනවාද ? ඔව් පැමිණෙනවා යැයි බමුණා කියා සිටියා. ඔබ ඔවුන්ට ආහාර දෙනවාද ? සංග්‍රහ කරනව ද ? ඔව් මම ඔවුන්ට සංග්‍රහ කරනවා. කවුරුන් හෝ එම ආහාර අනුභව කරන්නේ නැතිනම්, සංග්‍රහ පිළිගන්නේ නැතිනම් ඒවා කාට ද අයිති වන්නේ ? ඒවා අයිති වන්නේ මට යැයි බමුණා පිළිතුරු දුන්නා.

ඒ අනුව ඔබගේ බැණ වැදීම්, අවලාද අපහාස හා නිග්‍රහ මා පිළිගන්නේ නැතැයි බුදුන් වහන්සේ එහිදි කියා සිටියා.

ඒ වගේම මට අවලාද නැගුවා. මම අවලාද නැගුවේ නැහැ. මට දොස් කිව්වා. මං දොස් කිව්වේ නැහැ. මට නිග්‍රහ කළා. මං නිග්‍රහ කළේ නැහැ. මට නින්දා කළා. මම නින්දා කළේ. මට කරපු සියල්ල බමුණ ඔබට බාරයි”.

(වීඩියෝ )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න