Language Switcher

V2025

ගුරු සමූපකාරයේ කෝටි 5000 ක මූල්‍ය හානියක් !

අධ්‍යාපන සමුපකාර සමිතිය අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය කළ 2011 සිට 2015 දක්වා වු කාලය තුළ සිදුවී ඇතැයි පෙනීයන රුපියල් කෝටි 5000 කට අධික මූල්‍ය හානි පිළිබඳව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ජයසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ මහජන පුස්තකාලයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

වාර්ෂිකව රුපියල් කෝටි 2228 කට ආසන්න ආදායමක් ලැබිය යුතු නමුත් එම අතුරු පාලක මණ්ඩලය මඟින් පාලනය කළ කාලය තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 1317 ක මුදලක් පමණකැයි ද එහිදී ජයසිංහ මහතා පැවසීය.

මෙම මුල්‍ය හානි සමස්ත සාමාජිකත්වය වන ලක්ෂ දෙකකට ආසන්න ගුරුවරුන් වෙත කරන ලද හානියක් සේ සළකා කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

අතුරු පාලක මණ්ඩලය විසින් එහි පාලනය බාර ගැනීමට පෙර පාලනය කළ ලංකා ගුරු සේවා සංගමයේ පාලක මණ්ඩලය විසින් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට කුරුණෑගල ඉඩමක් මිලදී ගත් බවත් එය අධිවේගී මාර්ගයට අසු වූ බැවින් එම සංගමයට රුපියල් හාර කෝටි 25 ලක්ෂයක වන්දි ලැබුණු බවත් පැවසූ ජයසිංහ මහතා එවැනි ලාභ ලැබූ ආයතනයක් අතුරු පාලක මණ්ඩලය විසින් විනාශ මුඛයට ගෙන ගොස් ඇතැයි ද සඳහන් කළේය.

මේ අතර මහජන බැංකුවෙන් 13.2% ක පොලියට රුපියල් කෝටි 100 ක ණය මුදලක් ලබා ගෙන සාමාජිකත්වයට 14.7% ක පොලියට ණය ලබා දුන් බවත් එයින් ද සමුපකාර ලාභයක් ලැබු බවත් පෙන්වා දුන්නේය.

මෙම ණය මුදල ලබා ගත්තේ කිසිදු ඇපයක් තබා නොවන නමුත් ඉඩම උකසට තබා එම ණය ලබාගෙන ඇතැයි අතුරු පාලක මණ්ඩලයේ සිටි සමහරු චෝදනා කරන බව ද ජයසිංහ මහතා පැවසීය.