විනිවිදභාවය යන යෙදුම බරසාර ලෙස පළමුවෙන්ම අපට ඇසුණේ චන්ද්‍රිකා බල ව්‍යාපෘතියෙහි දී ය.
එහෙත් එය කෙළවර වූවේ වදනෙහි අරුත ද සිඳිමින් සහ චන්ද්‍රිකා ආණ්ඩුවෙහි කීර්ති නාමයද අහිමි කරමිනි. ඉන්පසු යළි මේ ගැන වැඩියෙන්ම කතාකෙරුණේ ජාජබ වේදිකාවල ය. ඒ වනවිට ජනතාව සිටියේ දූෂණය ඉවසාගන්නට බැරිම තැනක ය. දූෂණය තුරන් කිරීම සහ විවෘතභාවය, දූෂිතයන්ට දඬුවම් දීම යනු මේ ආණ්ඩුව බලයට පැමිණීමේ අධිවේගී මාර්ගයයි; ජනතාව දැඩි විශ්වාසය තැබුවේද ඒ ගැනමය.
රන්වල ගේ සහතිකය සහ ගල් අඟුරු කළුව
ආණ්ඩුව ඒ විශ්වාසයට පළමු වෙඩිල්ල තබා ගත්තේ රන්වල ගේ සහතික වළේ වැටෙමිනි. පළමු මොහොතේ ඔහු ඉවත් කළ යුතුව තිබියදී සහ එසේ නොවන්නේ නම් ඉවත් කළ යුතුව තිබිය දී ආණ්ඩුව කල්මරා තම කීර්ති නාමයට කෙළවාගත්තේ ය. අවසන 'එයාට සහතිකයක් නෑ' කීමට ආණ්ඩුවේ ලොක්කන්ට ම සිදුවූයේ ය. දැන් ආණ්ඩුවේ රෙදිවල ගල් අඟුරු කළුව තැවරෙමින් තිබේ. විගණකාධිපති වාර්තාව ආණ්ඩුවට ඇති අවසන් නිදහසට කරුණට ද ඇණ ගසා ඇත.
ජනතා විශ්වාසය ඉරා දැමීම
ප්‍රසම්පාදන කාර්‍යයේදී විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකිය. ආණ්ඩුවක් තිබෙන්නේ එවන් විට ඒ සම්බන්ධයෙන් කෙළින් තීරණ ගැනීමට සහ තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ය. මේ සඳහා පූර්වාදර්ශ ඇවැසිනම් ලී ක්වාන් යූ දෙස බැලිය හැකිය. ගල් අඟුරු සිද්ධියේදී ආණ්ඩුව කල් මරා තමන් කෙරේ තැබූ ජනතා විශ්වාසය ඉරා දමා ඇත. පළමු මොහොතේදීම ඇමතිවරයාට ඉවත්වන්නට හැර නිසි පරීක්ෂණ පවත්වා ඇවැසි පියවර ගත්තේ නම් මෙවන් අපකීර්තියකට මුහුණ දෙන්නට සිදුනොවනු ඇත. අනෙක් අතින් මෙවන් සිදුවීමක දී ඇමති මණ්ඩලයේ සාමූහික වගවීම කොහි ද?
දැන් අශ්වයා පමණක් නොව කුදිරකාරයාට ද කෙළවෙන තරමට වැඩේ වකූරු ය. මේ අහිමිකරගන්නේ ලාල් ගේ මෙන් සමාජ ප්‍රාග්ධනය නොවේ. දේශපාලනයෙන් උපයාගත් විශ්වාසය යි. නොවරදින පාලන නැත; වැරදි සිදුවිය හැකි ය. එහෙත් වරද වූ සැණින් එය නිවැරදිකරගත යුතු ය; වගකිවයුත්තන් නිසි පියවර ගත යුතු ය. විශ්වාසය ඇතිකරගත හැක්කේ එසේ කිරීමෙන් මිස කිතුලට හොරෙන් නැගි එකා මෙන් උත්තර දීමෙන් නොවේ.
ගල් අඟුරු කළු බව අපි දනිමු; එහෙත් ටෙන්ඩර් කළු විය නොහැකි ය.
ජනතාව යනු හුදු නරඹන්නන් සහ එහෙයි කියන්නන් ලෙස සිටි යුගය අවසන්ව තිබේ. එය අවසන් කිරීමට සහ ජන්‍යා සක්‍රීය කිරීමට ජාජබය විසල් වැඩ කොටසක් කළේ ය. දැන් ආණ්ඩුව ඒ සක්‍රීය ජනයා ගේ පරීක්ෂාවට ලක් වෙමින් තිබේ.
චූලානන්ද සමරනායක
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
