Language Switcher

V2025

මංගලගෙන් බදු සහන පැකේජයක් !

දේශීය ආදායම් පණත (2017 අංක 24) සඳහා සිදුකර ඇති සංශෝධන හමුවේ බදු සහන රැසක් ලබාදීමට රජය කටයුතු කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඒ සම්බන්ධව සිය ට්වීටර් ගිනුමේද සටහනක් තබා ඇත.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කරන ආකාරයට පහත බදු සහන සියල්ල පනත් සංශෝධනය හරහා ජනතාවට ලැබීමට නියමිත අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

රජයේ සුරැකුම්පත්වලින් ලබන ආදායම මත ගැනීමේ බදු !

1. රජය විසින් හෝ රජය වෙනුවෙන් නිකුත් කල දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් වන ස්වෛරීත්ව බැඳුම්කර මත නිර්වාසික තැනැත්තෙකු විසින් උපයනු ලබන පොළී, වට්ටම් හෝ ප්‍රාග්ධන ලාභ වැනි ඕනෑම ලාභයක් නිදහස් කිරීම.

නිර්වාසික තැනැත්තෙකු විසින් උපයනු ලබන ණය පොලී මත රඳවා ගැනීමේ බදු !

2. ශ්‍රී ලංකාවෙන් පිටත නොවන පුද්ගලයෙකුගෙන් ශ්‍රී ලංකා රජය ලබා ගන්නා ණය සඳහා එම පුද්ගලයාට ගෙවන පොලිය නිදහස් කිරීම.

3. ඕනෑම තැනැත්තෙකු නිර්වාසික මුල්‍ය ආයතනයකින් ලබා ගන්නා ණය මුදල් සඳහා ගෙවනු ලබන පොලිය ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

රාජ්‍යභාග මත රඳවා ගැනීමේ බදු !

4. තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 500,000.00 ක උපරිමයකට යටත්ව මසකට රුපියල් 50,000.00 ක් නොඉක්මවන රාජ්‍යභාග ගෙවීම් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීම.

ගුවන්යානා සඳහා බදු කුළී ගෙවීමේදී රඳවා ගැනීමේ බදු

5. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහයේ නියුතු වාසික තැනැත්තන් නිර්වාසික තැනැත්තන් වෙත ගුවන්යානා සඳහා කල්බදු කුලී ගෙවීමේදී රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීම.

කුළී මත රඳවා ගැනීමේ බද්ද

6. කුළිය මත රඳවා ගැනීමේ බදු අනුපාතය 10% සිට 5% දක්වා අඩු කිරීම.

ළමා ඉතුරුම් පොළී අදායම මත රඳවා ගැනීමේ බදු

7. ඕනෑම මූල්‍ය ආයතනයක පවත්වාගෙන යනු ලබන තැන්පතු මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් විසින් උපයනු ලබන පොළිය රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීම.

8. වාණිජ කේන්ද්‍රස්ථාන ක්‍රියාකාරකම් මගින් උපයන ලද ලාභ වලින් බෙදාහරිනු ලබන ලාභාංශ, රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීම.

9. දේශීය ආදායම් පනතේ දෙවන සහ හයවන උප ලේඛන යටතේ වැඩි කල ප්‍රාග්ධන දීමනා ලෙස නව ආයෝජන සඳහා ලබාදී ඇති බදු සහන පවත්නා ව්‍යාපාර සඳහා ද පුළුල් කිරීම.

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වල නියුතු පුද්ගලයන්ගේ ආදායම් බදු අනුපාතය

10. 2019 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 14% ක සහනදායී බදු අනුපාතය සුළු සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් ලෙස සැලකෙන පුද්ගලයන්ටද අදාළ වන පරිදි පුළුල් කිරීම.

11. 2019 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි කෘෂිකාර්මික ව්‍යාපාර වල නියුතු පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත අදාළ වන උපරිම ආදායම් බද්ද 24% සිට 14% දක්වා අඩු කිරීම.

12. පොළී ආදායම මත රඳවා ගැනීමේ බදු

- මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන බද්ධ ගිණුම්ද ඇතුළුව ඉතිරි කිරීම් සහ ස්ථාවර තැම්පතු මත පුද්ගලයන් හට ලැබෙන පොළිය වර්ෂයකට රුපියල් 500,000.00 ක උපරිමයකට යටත්ව මසකට රුපියල් 50,000.00 දක්වා රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කිරීම.

- ජේෂ්ඨ පුරවැසි ගිණුම් මත පොළී ආදායමෙන් බදු නිදහස් සීමාව වර්ෂයකට රුපියල් 1,500,000.00 සිට වර්ෂයකට රුපියල් 3,000,000.00 දක්වා වැඩි කිරීම.

- රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරන ලද එම පොළී ආදායම්, ආදායම් බද්දෙන් ද නිදහස් කෙරේ. 2018 දෙසැම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු නිදහස් සීමාවන් ඉක්මවා යන මුදල මත අවසාන බද්දක් ලෙස 5%ක අනුපාතයක් යටතේ රඳවා ගැනීමේ බද්ද අයකරනු ලැබේ.

අනේවාසික විදේශ ව්‍යවහාර ගිණුම් හෝ නේවාසික ව්‍යවහාර ගිණුම් මත පොළී ආදායම

13. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව ඕනෑම වාණිජ බැංකුවක පවත්වා ගෙන යනු ලබන අනේවාසික විදේශ ව්‍යවහාර ගිණුම් මත ඕනෑම පුද්ගලයෙකුට 2018 නොවැම්බර් 15 වන දින හෝ ඊට පසුව ගෙවිය යුතු පොළී ආදායම ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

විදේශ ප්‍රේෂණ මත බද්ද

14. 2018 නොවැම්බර් 15 වන දින හෝ ඊට පසුව බැංකු හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන විදේශයන්හී කරන ඉපයීම් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.