මීළඟ ජනාධිපතිවරණයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පවසයි.
ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නිදහස් සන්ධානයේ සියළු මන්ත්‍රීවරුන්ගේ සහය ජනාධිපතිට හිමිවන බවත් පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව 57%ක පමණ ජන්ද ප්‍රතිශතයක් ලබාගැනීමේ හැකියාව ඇති බවද මන්ත්‍රීවරයා පවසා ඇත.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණයක් සඳහා යෑමට කිසිඳු හදිසියක් නොමැති බවත් 2020 ජනවාරි 08 ට පෙර ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවීමේ අවස්ථාව ජනාධිපතිට ඇති බවද ඔහු පවසා තිබේ.
මහින්දගේ අමුතු කතාවක් !
කෙසේ වුවත් අද (10) මව්බිම පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තවම තීරණය කර නැති බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පත්කිරීමේ තීරණයක් පිළිබඳව කිසිවක් නොදන්නා බවද එහිදී ඔහු සඳහන් කර ඇති අතර පොහොට්ටුවේ කට්ටිය එකක් කියන බවත්, ශ්‍රී ල.නි.ප. අය තවත් එකක් කියන බවත්, තමා දන්නා පරිදි මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව කිසිම තීරණය ගෙන නැතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.