Language Switcher

V2025

ආරක්ෂක ලේකම්ගේ දුම්රිය කෞතුකාගාර සමාගමට : වෘත්තීය සමිති කොක්කක් !

කෞතුකාගාරයක් ඉදිකර පවත්වාගෙන යාමේ අරමුණෙන් Railway Museuma Gurantee Ltd නමින් දුම්රියේ නිලනාමය යොදාගෙන 2007 අංක 07 දරණ සාමාගම් ලියා පදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් ලියාපදිංචි කර ඇති නමුත් ඊට නෛතික ප්‍රතිපාදන නොමැති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග වෙත ලිපියක් යොමුකරමින් ඔවුන් මේ බව පෙන්වාදෙන අතර එය මාධ්‍ය වෙතද නිකුත්කර ඇත.

මෙම දුම්රිය කෞතුකාගාරය සහ සමාගම වත්මන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් ගොඩනගනු ලැබුවකි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිකුත් කර ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මෙහි ලියාපදිංචි අංකය GL 2409 වේ. 1902 අංක 9 දරණ දුම්රිය ආඥා පනතට අනුව දුම්රිය සේවයට අනුබද්ධිතව දුම්රිය සේවය තුල කවරාකාරයක සමාගමක් වුවද, ලියාපදිංචි කිරීමට හෝ පවත්වාගෙන යාමට හෝ නෛතික ප‍්‍රතිපාදන නැත. මෙවැනි සමාගමක් පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තු පනතක් හෝ නීතිපති තුමාගේ අවසරයක් හෝ නොමැත. මෙය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස හඳුන්වා ඇතත්, ජාවාරම්කාරී ලෙස මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන සමාගමකි.

මෙම සමාගමේ නමින් මේ වනවිට කොළඹ ටෙක්නිකල් හංදියේ දුම්රිය මූල්ස්ථානය ආසන්නයේ පිහිටි විශාල දුම්රිය හූමිය නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති අතර, එම භූමියේ ඇති දුම්රිය කාර්යාල කීපයක් ඉවත්කර එම ගොඩනැගිලි ගණනාවක් නීති විරෝධි ලෙස අත්පත් කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙක් කිසිදු සොයා බැලීමක් නොකරන අතර, දුම්රිය නිලධාරීන් කීප දෙනෙක්ද, වෘත්තීය සමිති නායකයින් කීප දෙනනෙක්ද මෙම හොර ජාවාරමට සම්බන්ධ වී ඇත. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරී ලෙස සලකා දුම්රිය සේවකයින්ද මෙම ජාවාරම් කටයුතු වලට සම්බන්ධ කරගෙන ඇත.

මහජන බැංකුව, මර්චන්ට බැංකුව හා පීපල්ස් ලීසිං සමාගම කෞතුකාගාරයේ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන් 300 ක (කෝටි 30) මුදලක් ප‍්‍රදානයක් ලෙස ලබා දුන්නද, දුම්රිය දෙපාර්තමේන්තුවට එම මුදල ලබා දී නොමැත. එම මුදල මහජන බැංකුවේ හිටපු සභාපති වරයා විසින් පෞද්ගලික පරිහරණයට යොදවා ගෙන ඇත. රාජය ආයතනයක් ලෙස පෙන්වීම සඳහා ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum ) යනුවෙන් නාමකරනය කර ඇති මෙම ගොඩනැගිල්ල ඉතාමත් වටිනා දුම්රිය දේපලකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් හා ගොඩනැගිලි යොදාගෙන මහජන බැංකුවේ මුදල් යොදාගෙන (මහජන මුදල්*) නාවික හමුදාවේ හමුදා බටයන් යොදාගෙන දේශපාලන බලය පාවිච්චි කරමින් දුම්රිය සතු පෞරාණික සම්පත් යොදාගෙන පෞද්ගලික ධනය සත පහක් හෝ වැය නොකර මෙම කෞතුකාගාරය හරහා දැවැන්ත ජාවාරමක් කිරීමට කටයුතු කරමින් ඇත.

මේ සම්බන්ධයෙන් ඔබ තුමාගේ අවධානය යොමුකර වහාම මෙම සමාගම අහෝසිකර, ඉදිකරමින් ඇති කෞතුකාගාරය වහාම දුම්රිය දෙපාර්තමේන්තුවට පවරාගෙන දෙපාර්තමේන්තුවට ඍජු ආදායමක් ලැබෙන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.