Language Switcher

V2025

වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කිරීම යහපාලනයේ ජයග‍්‍රහණයක් - පාඨලී

වසර 03 ක් ඇතුළත සියළු දෙනාට ඇහුම්කන් දෙමින් වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කිරීම යහපාලන රජය ලබාගත් ජයග‍්‍රහණයක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කිරීම වෙනුවෙන් ඊයේ (16) දින පැවැති විශේෂ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

හෙක්ටයාර් 269 ක බිම් ප‍්‍රමාණයක් පිළිසැකසුම් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර වරාය නගරයේ දෙවෙනි අදියර සඳහා සියළු කටයුතු සූදානම් කර ඇත.එම උත්සවය සඳහා චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක්. අපේ වරාය නගර ව්‍යාපෘතියේ පළමු පියවර අද නිමා වෙනවා. සියළුම ආකාරයේ වැලි රැගෙන ඇවිත් මේ බිම ගොඩකිරීමේ කටයුතු අද අවසන් වෙනවා. අපි අද වැලි ගොඩ දැමීමට ගෙන ආ යන්ත‍්‍රයට ආයුබෝවන් කියන දවස. ඒ වගේම මේ ව්‍යාපෘතිය ගැන විවිධ අදහස් විවිද බිය ජනක තත්වයන් තිබුණා. ජාත්‍යන්තර වශයෙන් රටේ ආරක්‍ෂක තත්වය පිළිබඳව, රටේ ‍ස්වෛරීභාවය පිළිබඳව, පාරිසරික ප‍්‍රශ්න පිළිබඳව ඒ වගේම විශේෂයෙන්ම ධිවර ප‍්‍රජාවට තමන්ගේ වාසස්ථාන අහිමි වීම පිළිබඳව බිය ජනක තත්වයන් ඇතිකර තිබුණා.

අද සියවස් ගණනාවක් කළු ග‍‍ඟෙන්, කැළණි ග‍‍ඟෙන් මහ මුහුදට ගිය වැලි කන්ද නැවත අපි මෙතන තැන්පත් කර තිබෙනවා. කියුබික් මීටර මිලියන 70 කට අධික ප‍්‍රමාණයක්. ඒ මගින් අපි විශාල පරිසර බලයක් සෝදාපාලූවෙන් අපෙන් ඉවතට ගිය පරිසරයක් අපි නැවත ගොඩනගා තිබෙනවා. ඒ අතින් පරිසරයට ඉමහත් සේවයක් සිදු වී තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අපේ ධිවර ප‍්‍රජාව සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කර තිබෙනවා. තිබූ බියජනක තත්වයන් සියල්ලම දැන් නිම වී තිබෙනවා. ඒ වගේම මේ නිසා හෝදා පාලූව වැඩිවෙනවා කියා තිබුණා. ඒ සියළු තත්වයන් අපි දැන් මුදා හැර තිබෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී මේ චෛත්‍ය පාරට එනවා ගුවන් මගින් පාරක්, නව කැළණි පාලමේ සිට. එම මාර්ගය උමගක් මගින් අපි කොල්ලූපිටිය දක්වා ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩකටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ශඛ්‍යතා අධ්‍යනයක් කර තිබෙනවා. පරිසර අධ්‍යනය දැන් කරගෙන යනවා. එය අවසන් වූ වහාම එම වැඩකටයුතුත් අපි පටන් ගන්නවා.

ඊට අමතරව කඩුවෙල, රාජගිරිය, බත්තරමුල්ල පරිපාලන නගරය ඒ වගේම බේරේ වැව අවට ප‍්‍රධාන වාණිජ නගරය, මේ සියල්ල සම්බන්ධ කරන සැහැල්ලූ දුම්රිය සේවයත් මේ නව නගරයට ගමන් කරවන්න අපි කටයුතු කරනවා. බොහෝ දෙනෙක් බිය වී සිටියා මේකට විදුලිය, ජලය සපයන්නේ කොහොමද, මෙහි කසළ කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ඒ ප‍්‍රශ්න සියල්ලම අපි දැන විසඳා තිබෙන බව කිව යුතුයි. මෙම ස්ථානයේ ඉතා කෙටි කාලයක් ඇතුළත නාගරික උද්‍යානයක් සියළු දෙනාටම ගොඩනැගෙනවා. ඒ වගේම ප‍්‍රධාන ඉඩම් කොටස් 4, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක් සහ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කටයුතු පහසු දෙයක් නෙමෙයි වසර 3 ක් ඇතුළත සියළු දෙනාටම ඇහුම්කන් දෙමින් මේ කටයුත්ත කිරීම මේ යහපාලන රජය ලබාගත් විශාල ජයග‍්‍රහණයක්. මෙයට විරෝධය පෑ කිසිම කෙනෙක් අපි මර්ධනය කරන්න ගියේ නැහැ. ඒ හැම කෙනෙක් සමගම සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ කටයුතු සාර්ථක කර ගන්න අපට හැකිවුණා. ඒ වගේම කිසිම කෙනෙක් සුදු වෑන් වලින් පැහැරගෙන යන්න සිදු වුණේ මෙම කටයුතු කරන්න. සියළු දෙනාම සමග සාකච්ඡුාවෙන්, ධර්මානුකූලව, අවිහිංසාවාදීව එම කටයුතු සිදු කර තිබෙනවා.

ඉදිරි කාලයේදී මෙහි ඉදිකිරීම් කටයුතුත් සිදු කෙරෙනවා. අනාගතයේ දරුවන්ට මේ රටේ පමණක් නෙමෙයි, ඉන්දියානු සාගරයේ ප‍්‍රධානම ආර්ථික මධ්‍යස්ථානය, ජවන ඇන්ජිම මෙතනින් ගොඩනැගෙනවා.

ඒ වගේම අපේ අමාත්‍යාංශය මගින් ඒකල ප‍්‍රදේශයේ ගොඩනගන ගුවන් නගරය, ඒ වගේම හෝමාගම ප‍්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරය. බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉදිවන පරිපාලන නගරය, කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිවන ප‍්‍රවර්ජන නගරය ඒ වගේම බේරේ වැව අවට ගොඩනැගෙන වාණිජ නගරය කියන මේ නගර සියල්ලත් සමග අපි බලාපොරොත්තු වෙනවා මේ කොල්ලූපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන්න. එම වෙළඳ නගරයත්, අපි දේශීය හා විදේශීය තාක්ෂණය යටතේ කරගෙන යන්න ශක්‍යතා අධ්‍යනයක කරගෙන යනවා. ඒ අනුව නව වෙරළක් අපට ලැබෙනවා මේ ඉදිරි දශකය ඇතුළත. එම ව්‍යාපෘතියත් මේ වන විට දියත් කර තිබෙනවා.

ඒ නිසා අලූත් කොළඹ නගරයක් ඉදිකිරීම සඳහා වන මේ වැදගත් සුහුරු නගර ව්‍යාපෘතියේ පළමු පියවර සාර්ථකව අවසන් කිරීම ගැන චයිනා හාබර් සමාගමටත්, අපට නිරන්තරයෙන්ම මිත‍්‍රත්වයේ, සහෝදරත්වයේ ආයෝජනයේ ශක්තිය ලබාදෙන චීන රජයටත්, එහි ජනාධිපතිතුමා නියෝජනය කරන තානාපතිතුමාටත්, ඒ වගේම මෙයට සහයෝගය දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලටත් අපගේ ස්තූතිය පුද කරනවා. අපේ ජනතාවට අනාගතයේ රන්වන් අනාගතයකට, විශේෂයෙන්ම මේ රට හැර යන වෘත්තීයවේදීන්ට ඉන්න හිතෙන රටක් අනාගතයේ ගොඩනැගෙයි කියන බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.