Language Switcher

V2025

සිරිසේනට ජනාධිපති අපේක්ෂකත්වය ලැබේද යන්නත් සැකයි - දුමින්ද

යහපාලනය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව නැවත ජනාධිපති වරයා බවට පත්කරගැනීමට බලාපොරොත්තු වුයේ අද තිබෙන තත්ත්වයට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

රැස පුවත්පත සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙන අතර රාජපක්ෂ පාර්ශවය විසින් ජනාධිපති සිරිසේනට එළඹෙන ජනාධිපතිවරණයක අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධව බරපතල සැකසංකා පවතින බවද සඳහන් කර ඇත.

ඔක්තෝබර් 26 වනදා සිදුවූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයත් සමඟ නිහඬවූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමඟ රැස පුවත්පත සිදුකල සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.

* මේ දවස්වල දුමින්ද දිසානායක පේන්න නැත්තේ ඇයි? හැංඟිලා ද?

මේ දවස්වල වැඩිය පේන්න නැති එක තමා වැඩිය හොඳ. මොකද උදේ තිබ්බ එක නෙමෙයි දවල්. දවල් තිබ්බ එක නෙමෙයි හවස. දුමින්ද දිසානායක කියන්නේ ප්‍රතිපත්තියක් තියන මිනිහෙක්. උදේ තිබ්බ එක හවස වෙනස් වුණාම. හවස එක මතයක් දරලා, හවස තව මතයක් දරන්න බැහැ. ඒ නිසා නිහඬව ඉන්න එක තමා හොඳ.

* ඔක්තෝබර් 26 බල පෙරළියක් සිදු වුනා ඒ අවස්ථාවේදි ඔබ නිහඬව සිටියා පසුව ඔබතුමා ගිහිල්ලා අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙනවා ?

මම හිතන්නේ ඒ කාලය තමයි රටේ සිදුවෙච්ච අවාසනාවත්තම දවස් කිහිපයක් තමයි එ් දවස් පනස් දෙක ඒ අස්ථාවර භාවයට අපි සියලු දෙනාම වග කියන්න ඕන ඇමතිකම් භාර ගත්ත අපි හැමෝම මේකට වග කියන්න ඕන. මම ඒ මොහොතේ අමාත්‍ය ධූරය බාර ගත්තෙ ශ්‍රීලනිප සංවිධායකයන්ගේ ගැටලු නිරාකරණය කරගැනීම පස්සේ.

* මහින්ද ජනාධිපතිවරයාගේ කාලයෙත් ඔබතුමාව පැත්තකට කරලා තිබිබා, දැනුත් සිද්ධ වෙලා තියෙන්නේ දුමින්දව පැත්තකට කරල ද?

මාව දේශපාලනික වශයෙන් පැත්තකින් තියන්න කාටවත් බෑ මොකද දේශපාලන මතයක් තියෙන කෙනෙක් විදියට ඒ මතය දරන්න මට අයිතියක් තියනවා. යම් පාර්ශවයකට ඒක ප්‍රශ්නයක් වුනත් දේශපාලන මතයක් දරණ අපට ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

* එජාපයේ ඉදලා ආපු, දයාසිරි ජයසේකරට පක්ෂ මහලේකම් තනතුර දීම සම්බන්ධයෙන් කළකිරීමෙන්ද ඉන්නේ නැත්තම් ඒ තීරණයට එකඟද?

පැහැදිලිවම මට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂයේ මහලේකම් වරයා වීම සම්බන්ධයෙන් කිසිම අසතුටක් නෑ. මොකද තරුණයන්ට තනතුරු ලැබිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම අලුත් වෙන්න ඕන කියන කාරණය අපි හැමදාම කියන දෙයක්.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත වාද දරන අයම ද කියලා ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ පක්ෂයට ගියා මේ පක්ෂයට ගියා කියන කාරණාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට යම්කිසි තක්සේරුවක් තියාගන්න ඕන කම තියෙනවා. ඒක දයාසිරි ජයසේකරට ආරෝපණයක් වත් අඩුවක්වත් කියන්න විදිහක් නැහැ, ඒ තනතුරු වලට තෝරපු අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තියාගන්න පුළුවන්ද? කොහොමද ඒ අනන්‍යතාවය ආරක්ෂා කරගන්නේ, කියන කාරණාව පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන. දයාසිරි ජයසේකර මහතාට මම පුද්ගලිකව සුබ පතනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්නට හැමදාම දුමින්ද දිසානායක වැඩකරනවා, වෙහෙස මහන්සි වෙනවා, කලයුතු, කළ හැකි සියලු දේම කරනවා.

* සිද්ධවෙලා තියෙන වෙනස සහ අලුත් දේශපාලන තත්ත්වයත් සමග ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය සම්බන්ධව ගැටලු ඇතිවෙලා තියනවා. ඔබතුමා කිව්වා ඔබතුමා ගිහිල්ලා අමාත්‍ය ධූරය බාර ගත්තෙ ඒ ගැටලු නිරාකරණය කරගැනීම පස්සේ කියලා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු මේ සම්බන්ධව මාධ්‍ය හමු පවත්වලා විවිධ අදහස් දැක්වුවා. ඒ තීරණ පිළිබඳව ඔවුන් දැනුවත් වෙලා නැද්ද? නැත්නම් ඔබතුමාට ලැබිච්ච ඒ පොරොන්දු දැන් වෙනස් වෙලා ද?

මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීලා, ඇමතිවරුන් දිවුරුම්දීම දීලා, 113 හදාගන්න නොහැකි වීමත් එක්ක ආණ්ඩු විසිරවීමට යනවා. ඒ විසුරුවපු ගමන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමත් එක්ක තමයි නැවත වතාවක් මේ අර්බුදය පටන් ගන්නෙ. ඊළඟට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම තුළ නැවත වතාවක් දේශපාලන කුමන්ත්‍රණයක ස්වභාවයක් අපි හැමෝටම තේරෙන්න පටන් ගත්තා. ඒ තුළ තමයි අපේ සංවිධායකතුමාලාගේ විවේචනය තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යට කරන්න අපි විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව තුළ දිය කිරීමට අපි විරුද්ධයි. ඒ නිසා පොහොට්ටුවක් සමඟ ගනුදෙනුව අනවශ්‍යයි කියන කාරණාව තමයි ඒ සංවිධායකවරු කියන්නේ. ඒ ඇරෙන්න වෙන වෙන විවේචනයක් නෑ. සමහරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයන් අෑත් වෙනෙකාට සමහර අාසන වලට සංවිධායකවරු අපි හොයාගත්තේ අමාරුවෙන්. ඒ් වගේ පහුගිය අවුරුදු තුනහමාර තුළ ඒ බර අැද්ද කට්ටිය අවලංගු කාසි බවට පක් වෙනවනම් ඒ්කට තමයි ඒ් අයගේ විවේචනය තියෙන්නේ.

* එක්සත් ජනතා නිදහස් සංධානයේ අැතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාසන සංවිධායකවරු පිටිපස්සේ ඉන්නේ හිටපු ජනාධිපතිතුමිය කියලා. ඒ් චෝදනාව ඔබතුමා ප්‍රතික්ෂේප කරනවද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය විදියට අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක නායිකාවෝ අාශ්‍රය කරන්න එපා හෝ උපදෙසක් ගන්න එපා කියලා කවුරුවත් තහනමක් දාලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනම කෙනෙකුට හිටපු ජනාධිපතිතුමියව මුණගැහෙන්න සාකච්ඡා කරන්න උපදෙසක් ගන්න අයිතියක් තියෙනවා.

ඒ වගේම අමතක කරන්න හොඳ නෑ 2015 ජනවාරි 08 සිදු වුණු වෙනස තුල කවුද පිටිපස්සේ හිටියේ කියලා. නිදහස් පක්ෂයේ අති බහුතරයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් සමඟ ඉන්නකොට. මෙෙත්‍රීපාල සිරිසේන මැතිතුමත් මමත් ඒ් වගේම අපේ එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මැතිතුමත්,අර්ජුන රණතුංග මැතිතුමාලා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු කණ්ඩායමට ඒ් වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිනිය තමයි නායකත්වය දුන්නේ. එදා එතුමියට පුළුවන්කමක් තියනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වයක් ලබාදෙන්න. වර්ථමාණයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂීකයන්ට අවවාදයක් උපදෙසක් ලබා දෙන්න මම හිතන්නේ බැරි කමක් නෑ.

* සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ විධායක ජනාධිපති අහෝසි කරනවා කියලා සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා කිහිප අවස්ථාවකදිම පොරොන්දු දීලා තියනවා මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි මෙම යෝජනා දෙකට විරුද්ධ වුනේ කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දරන්නේ මොනවගේ අදහසක්ද?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට මම පුද්ගලිකව විරුද්දයි. මම විධායක ජනාධිපති ක්‍රමයට මම කැමති කෙනෙක්. හැබැයි එය නරක කෙනෙකුගේ අතට ගියොත් එයින් වන හානිය පිළිබඳවත් යම් කිසි තක්සේරුවක් කරන්න ඕන. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම තුළ පාර්ලිමේන්තුව කේන්ද්‍රගත වෙච්ච පාලනයක් තුල, අපි හිතමු සමහර වෙලාවට ඉතාමත් සුලු පිරිසක් පාර්ලිමේන්තුවට ආවා කියමුකෝ එක අදහස් දරන. රටේ කුමක් හෝ ජාතික ප්‍රශ්නයක් පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කරන අවස්ථාවක බහුතරයක් පාර්ලිමේන්තුවේ නැති අවස්ථාවක ඒ දෙන්නා තුන්දෙනාගේ ඡන්දය මත තමයි හැමෝටම යැපෙන්න වෙන්නේ. රටේ බහුතරයකටද තැනක් ලැබෙන්නේ, අර ඉන්න දෙන්නා තුන්දෙනාටද තැනක් ලැබෙන්නේ කියන කාරණය ගැන හිතලා බලන්න ඕන.ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි වලින් පමණක් මනින්න පුලුවන් කාරනයක් නෙමෙයි. මෙහි වාසි අවාසි දෙකම තියනවා. විධායක ජනාධිපති ක්‍රමයේ අනවශ්‍යයි කියන බලය ඉවත් කිරීමත් අවශ්‍ය බලය දීමත් තුල මේ රටේ බොහෝ දේවල් රැකෙන්න ආරක්ෂා කරන්න පුලුවන් කම තියෙනවා.

අනිත් කාරණය තමයි 19 වැනි සංශෝධනයක් සමඟ 2019 දී හෝ 2020 බිහි වෙන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යංශය තියනවා. ඒ වගේම එතුමට කැබිනටි මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්න,රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන්න පුලුවන් කම තියෙනවා. හැබැයි කිසිම සංවර්ධනයක් කරන්න බෑ. ඒ වගේම පහුගිය නඩු තීන්දුවක් සමඟ අවුරුදු හතර හමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවන්නත් පුළුවන් කමක් නෑ. විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු ප්‍රධානම බලතලයක්ව තිබුණු එයත් සීමා කරලා තියෙනවා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය පිහිටුවද්දී කිවිවේ ඒ බලයට බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්න සහ පිරිමියෙක් ගැහැණියෙක් කරන්න කියලා විතරයි. නමුත් අපි දැක්ක ප්‍රධානම කාරණය තමයි තමන්ට බලය නොලැබෙන අවස්ථාවලදි පාර්ලිමේන්තුව විසුරුවීම තමයි විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු ප්‍රධානම කාරණාව. මීට අමතරව අනවශ්‍ය ලෙස අමාත්‍යංශ පවරා ගැනීමේ බලයත් විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණා. හැබැයි 19ත් එක්ක ජනාධිපතිවරයාට හිමිවෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය විතරයි.

ඒක නිසා විධායක ජනාධිපති ධුරය ඔය අඩු කරපු බලතල ටිකත් එක්ක තිබුණා කියලා දැන් ප්‍රශ්නෙකුත් නෑ.

* ඔබේ පියා පියා පළාත් සභාවක හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක්. පළාත් සභාවලට තියෙන බලය සම්බන්ධයෙන් නැවත කතා බහක් ඇති වෙලා තියෙනවා මේ සම්බන්දව මොකද්ද ඔබතුමාගේ මතය?

දහතුන් වන ආණ්ඩු ක්‍රමයේ සියලුම සංශෝධන ටික දෙන්න ඕනෙයි කියන තැන මම ඉන්නවා. අපි මේ පහුගිය වසර හතර තුලත් මේ ඒකීය කියන වචනය අල්ලගෙන දඟලනවා. අපි ඒකීය කියනවා අපිට විරුද්ධ අය, අපි මේ කරන්නේ ෆෙඩරල් කියනවා. නමුත් අපි රටේ ජනතාවගෙන් ඇහුවොත් ඒකීය කියන දේ තුල මොනවද මේ රටේ ජනතාවට ලැබිලා තියෙන්නේ. ෆෙඩරල් කීම තුල මොනවද මේ රටේ ජනතාවට අහිමි වෙන්න යන්නේ. උදාහරණයකට ගත්තොත් අපේ රටේ සියලුම පක්ෂ ටික ඉන්නවා පළාත් දෙකක් එකට එකතු වෙන්න දෙන එකට විරුද්ධව. ඒ පළාත මධ්‍යම රජයක අනුමැතියකින් තොරව විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට විරෝධය දක්වලා තියෙනවා. මෙන්න මේ කියන කාරණා ටික හරියට ආරක්ෂා වෙනවනම් ඔය ඒකීය ද, නැද්ද, කියන කාරණාව ව්‍යවස්ථාවේ ඒකීය කියන වචනයෙන් තිබුණත් එකයි නැතත් එකයි.

මේ වචන අල්ලගෙන තමයි තාමත් දඟලන්නේ අපේ පරණ දේශපාලකයෝ ටික. එදා ඉදන් කියන් යන ටික තමයි මේ තාමත් කියන්නේ. හැබැයි ඔවුන් ඒ වචන ටික අල්ලගෙන අපේ අනාගතය සහ අපේ දරුවන්ගේ අනාගතය තමයි විනාස කරන්නේ. දැන් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ තුවක්කුවෙන් ජයග්‍රහණය කරපු එක සහෝදරත්වයෙන් කොහොමද බෙදාගන්නේ කියන එක. ජීවිතයයි මරණයයි එක්ක සටන් කරලා ඒ පැත්තෙන් මේ පැත්තේ අය මරලා මේ පැත්තෙන් ඒ පැත්තේ අය මරලා ත්‍රස්තවාදීන් විනාශ කිරීමක් පමණයි අපි කරලා තියෙන්නේ. රටේ ප්‍රශ්න ඉවර කරන්න නම් මෙවැනි සංශෝධන වලට යන්න ඕන.

අපි ඒකීයයි ඒකීයයි කිය කිය හිටියට සමහරු මේකේ තේරුම දන්නේ නෑ. එහි හානියක් තියනවද වාසියක් තියනවද දන්නෙත් නෑ. පළාත් දෙකක් එකතු කිරීමේ මතය පරාද කරලා ඒ වගේම ඉස්සරහටත් මේ අභියෝගය කවදාවක් මේ රටේ ඇති නොවෙන විදියට කටයුතු කරන්න ඕන.

* යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත ඒකීය ආණ්ඩු ක්‍රමයක් විදියටද තියෙන්නේ ?

පැහැදිලිව තියෙන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක් විදියට.

* ඇයි එහෙනම් ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන්න හදනවා කියලා දේශපාලන කරලියේ මාතෘකාවක් හැදිලා තියෙන්නේ?

මේ රටේ දේශපාලනය හැමදාමත් අවස්ථාවාදී දේශපාලනයනේ කරලා තියෙන්නේ. අපි ගත්තොත් චන්ද්‍රිකා මැතිනිය මේ ව්‍යවස්තාව ගේන්න හැදුවා එක්සත් ජාතික පක්ෂ ඊට විරුද්ධ වුනා. හැබැයි ඒ ව්‍යවස්ථාවෙම කෑලි තමයි මේ සංශෝධන වලත් තියෙන්නේ. ඒ අය ගේනකොට ඒක ඒ අයට හොඳ වෙලා තියෙනවා. හැබැයි චන්ද්‍රකා මැතිනියත් එක්ක අපි ඒ ව්‍යවස්ථාව ගෙනාවම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමත් ඒකට විරුද්ද වුනා. ගෙනාපු එකම දේ තමයි මේ පැත්ත මැරු කර කර තියෙන්නේ. මහින්ද මහත්තයා එක කාලෙක කිවිවා 13 නෙමෙයි 13 ප්ලස් දෙන්නම් කියලා. එදා මහින්ද මහත්තයා කැමතියි අපිත් කැමතියි. ඒ වගේම අවස්ථාවාදී දේශපාලනයක් දැන් තියෙන්නේ. ඒ අයට බලය තියෙන වෙලාවට ඒක පිළිගන්නවා. එදාට බලය නැති විපක්ෂය විරුද්ධ වෙනවා.

මමත් පාර්ලිමේන්තු අඩුවෙන්ම ගිය එක්කෙනෙක් මම ඉන්නේ අවසාන ලැයිස්තුවේ දහවෙනියටද කොහෙද. මොකද පාර්ලිමේන්තු යන එකත් දැන් අපිට එපා වෙලා තියෙනේ. අපිට ඕන රට හදන්න මිසක විවේචන නෙවෙයි. මම හැමදාම කිව්වේ විවේචනය විතරක් මඟින් යෝජනා අවශ්‍යයි කියලා. අතීතයේ දේශපාලකයෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කළේ රටට සේවයක්. දැන් ඒ තත්ත්වය වෙනස්. ආණ්ඩු පක්ෂය නම් විපක්ෂයට මඩ ගහන්න ඕන විපක්ෂයෙන් අාණ්ඩු පක්ෂයට මඩ ගහන්න ඕන. මම නම් ඒකට විරුද්ධයි. අපිට අපේ මතයක් දරන්න සහ විවේචනයක් කරන්න අවස්තාව තියෙන්න ඕන

පාර්ලිමේන්තුවක් තියෙන්න ඕන තමන්ගේ මතය තමන්ගෙ විවේචන අවශ්‍ය වෙලාවට කරන්න පමණයි. දේශපාලනය කරන්න ඕනේ මැතිවරණ කාලයට පමණයි. එතනින් එහාට විපක්ෂයේ භූමිකාව විරුද්ධ වීම පමණක් නෙවෙයි.

පහුගිය දවස් ටිකේ මහින්ද රාජපක්ෂ අගමැති වෙලා ඉන්නකොට ඩොලර් එකේ ප්‍රශ්නෙත් නෑ. පඩි ප්‍රශ්නෙත් නෑ. වෙන අගමැතිවරයෙක් පත් වුණාම මෙන්න අර අය ආයෙමත් කියනවා මිනිස්සු කොහොමද කන්නෙ. ඩොලරය ඉහළ යනවා කියනවා.

මේ දේශපාලනය බලාගෙන ඉන්න බෑ අප්‍රසන්නයි.. මේවට කියන්නේ අවස්ථාවාදී දේශපාලනය කියලා. මේ රටෙන් තුරන් වෙන්න ඕන. ඒ වෙනුවෙන් තරුණයෝ පෙළගැසෙන්න ඕන බුද්ධිමතුන් පෙළගැසෙන්න ඕන ජාති ආගම් කුලමල භේදයකින් තොරව මේ සියලු දෙනා පෙළගැසෙන්න ඕන.

ඉදිරියට තරුණයෝ තාත්තා එක්සත් ජාතික පක්ෂයේ නිසා පුතා එක්සත් ජාතික පක්ෂයේ නොවී ඉඳීවී. තාත්තා නිදහස් පක්ෂයේ නිසා, පුතා නිදහස් පක්ෂ නොවෙයි. මම විශ්වාස කරනවා රටේ තරුණයෝ රට වෙනසක් කරා ගෙන යන්න පෙළගැසෙයි කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ කියන අලුත් සමාජයට ගැලපෙන කියන විදියට වෙනස් වුනේ නැත්නම් අපිට ඒ තරුණයෝ අහිමි වෙනවා.

* ඔබතුමා ඉතා කෙටිකාලයකින් පක්ෂයේ මහලේකම් දක්වා තනතුරට ආවා ඔබතුමාගේ ඊළඟ නැවතුම වෙන්නේ කොතැනද?

සමහරු තාමත් දේශපාලකයො විදියට කතා කරන්නේ ගමේ ගෙවල් හදන එක ගැන. කන බොන එක ගැන. තරුණ දේශපාලකයෙක් විදියට මම දකින්නේ ඊට එහා තැනකට රට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරන්න ඕන. තරුණ අපිට කරන්න තියෙන්නෙ අපේ වැඩිහිටියෝ කරපු ඒ වැරදි ටික ඒ විදියටම කරගෙන යන එකද? එහෙම නැත්නම් අපිට පේනවා නම් ඒක වැරදියි කියලා, වැරැද්ද විවේචනය කරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වෙනුවෙන් මම කතා කරනවා. තරුණයෙක් විදිහට ගමේ දේශපාලනයට වඩා ජාතික දේශපාලනය වෙනුවෙන් අපේ වැඩිහිටියන් ගෙන් වූ වැරදි නිවැරදි කරමින් හරි මාර්ගයක ගමන් කිරීම තමයි වැදගත් වෙන්නේ.

* ඉදිරියට කුමන මැතිවරණයක් එයිද?

ඊළඟට එන මැතිවරණය මොකක්ද කියලා ඇහුවොත් එහෙම ඉදිරියට එන්නේ ජනාධිපතිවරණයක්.

ඒ වෙනුවෙන් තමයි රටේ සියලු දේ පෙළගැසෙන්නේ ඒ පෙළ ගැසීමත් එක්ක නියම කාලයට පෙර ජනාධිපතිවරණයක් ඒවි කියන එක තමයි මගේ පුද්ගලික මතය.

* ඉදිරියේ දී ජනාධිපතිවරණයක් පැවතුනහොත් ඔබ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කඳවුරට සහයෝගය දෙනවද?

සහයෝගය දෙන්න පුලුවන්ද බැරිද කියන කාරණය ගැන වෙනත් විදියකට හිතන්න වෙලා තියෙනවා. දැන් පොහොහොට්ටුව පැත්තෙන් කියාගෙන යනවා මෛත්‍රීපාල සිරිසේන නෙවෙයි අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා කියන පුද්ගලයකු විය යුතුයි කියන කාරණය. මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි ප්‍රකාශයක් සිදු නොකිරීම නිසා යම් සැකයක් අපටත් ඇති වෙලා තියෙනවා.

කුමාර වෙල්ගම මහත්තයා පහුගිය දවස්වල කියනවා සන්ධානගත වනවා නමි එහි නායකයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොච්චර කල් අපිත් එක්ක ඉඳීවි කියල සැකයක් තියෙනවා කියලා. ඒක නිකම් හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්න වගේ කතාවක්. මේ නිසා ඒ පිළිබඳව දැන් අපිට සැකයක් තියෙනවා. යහපාලනය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව නැවත ජනාධිපති වරයා බවට පත්කරගැනීමට අප බලාපොරොත්තු වුනේ මේ අද තියෙන ක්‍රමයට නෙවෙයි.

සාකච්ඡාව : විමුක්ති දුෂාන්ත