Language Switcher

V2025

ලංකා අධිකරණ මඟහැර සිටි රාජපක්ෂ රෙජීමයේ ජාලියට : ඇමරිකාවේදී නඩු !

රාජපක්ෂ රෙජීම සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ලෙස කටයුතු කර එහිදී සිදුකළ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධව චෝදනා ලබා ලංකා අධිකරණය මඟහැර සිටි ජාලිය වික්‍රමසුරිය ට එරෙහිව අධි චෝදනා 3ක් යටතේ නඩු පැවරීමට වොෂින්ටන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

 * 18 U.S.C.§ 1343 -Wire Fraud

* 18 U.S.C.§ 1956(a)(2)(A) -Launderning Monetary Instruments

* 18 U.S.C.§ 1546(a) - False Statement in Immigration Application

ජාලිය වික්‍රමසූරියට එරෙහිව වොෂින්ටන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩු වල අධි චෝදනා පත්‍ර අංක ඉහත පරිදිය.

ඒ සම්පූර්ණ අධි චෝදනා පත්‍ර මෙහි දැක්වෙන අතර ඒවායින් හෙළිවන කරුණු වල සංක්ෂිප්ත සිංහල පරිවර්තනය පහත පරිදි ය.

අධි චෝදනා පත්‍රවලින් හෙළිවන ජාලිය ගැසූ ගේම..!

වර්ෂ 2012 වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවත්වාගෙන යනු ලැබුවේ වොෂින්ටන් ඩීසී වයෝමින් ඇවනියුහි අංක 2148 දරණ ස්ථානයේ ය. මේ වන විට එහි ශ්‍රී ලංකා තානාපතිවරයා වූයේ ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා ය. ඔහු ඒ තනතුරට පත්වූයේ 2008 දී වන අතර 2014 දක්වා ඔහු ඒ තනතුර දැරුවේ ය.

තානාපති පදවිය දරණ අතරතුරම ඔහු ශ්‍රී ලංකාවේ ‘සිලෝන් රෝයල් ටී සප්ලයර්ස්’ පුද්ගලික සමාගම සහ එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ලියාපදිංචි කොට ඇති ‘සිලෝන් රෝයල් ටී ඇන්ඩ් සප්ලයිස්’ නමැති සමාගම් දෙකෙහිම හිමිකරුවාද විය.

වර්ෂ 2012 දී තානාපතිවරයා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිණිස සොයා බැලීම ආරම්භ කෙළේය. මේ කටයුත්තෙහිදී නීතිඥවරයෙකු ද වන තානාපති කාර්යාල උපදේශකවරයෙකුගේ සේවය ද ජාලිය විසින් ලබාගෙන තිබේ. මේ උපදේශකවරයා වොෂින්ටන් ඩීසී හි ලියාපදිංචි උපදේශක සමාගම් දෙකක් වොෂින්ටන් ඩීසී හි එකම ලිපිනයේ පවත්වාගෙන ගියේ ය.

තානාපති කාර්යාලය මේ පරිශ්‍රය මිලදී ගැනීම සඳහා දේපොල අලෙවි කිරීමේ සමාගමක (Real State Company) සේවය ලබාගෙන ඇති අතර 2012 වසර අගභාගයේ දී එම සමාගම තානාපතිවරයාට සහ තානාපති කාර්යාල උපදේශකවරයා හට අලෙවි කිරීමට නියමිත නිවාස පෙන්වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව 2012 ඔක්තෝම්බරයේ දී හෝ ඒ ආසන්නව තානාපතිවරයා ‘වයිට් හෙවන්’ වීදියේ අංක 3025 දරණ පිහිටා ඇති ගොඩනැගිල්ල තානාපති කාර්යාලය සඳහා මිලදී ගැනීමට කැමැති වී තිබේ.

එම තීරණයත් සමගම 2012 ඔක් 08 හෝ ඊට ආසන්න දිනයක දී තානාපති කාර්යාල උපදේශකවරයා තම දේපොල වෙළඳ සමාගම වෙත විද්‍යුත් ලිපියක් යවමින් ගණුදෙනුවට අදාලව නීතිඥවරයෙකු හඳුන්වා දී තිබේ.

මෙම මිලදී ගැනීම සඳහා පාර්ශව කරුවන් විසින් එකඟ වී ඇති මුදල ඩොලර් මිලියන 6.25 කි.

2013 ජනවාරි 9 හෝ ඊට ආසන්න දිනයක දී නීතිඥවරයා දේපොල හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමක් (Title Company) වෙත විද්‍යුත් ලිපියක් යවමින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා රජය තානාපති කාර්යාල පරිශ්‍රය මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 6.6 ක් වෙන් කර ඇති බව ය. ඒ අනුව දේපොල හිමිකම් සමාගම තානාපති කාර්යාල දේපොල ගණුදෙනුකරුට, නීතිඥවරයාට සහ දේපොල හිමිකම් සමාගමේ අයිතිකරු වෙත විද්‍යුත් ලිපියක් යවමින් ශ්‍රී ලංකා රජය විසින් පහත දැක්වෙන ආකාරයට ගෙවීම් සිදුකළ යුතු බව දන්වා තිබේ.

1) ඩොලර් 1,87,500/- ක් දේපොල අලෙවිකරු නියෝජනය කරන අලෙවි සමාගමේ කොමිස් මුදල ලෙස,
2) ඩොලර් 1,87,500/- ක් දේපොල ගැනුම්කරු නියෝජනය කරන අලෙවි සමාගමේ කොමිස් මුදල ලෙස,
3) ඩොලර් 3,32,027 / 35 ක් ගැනුම්කරුගේ පාර්ශවයේ නියෝජනයක් ලෙස අමතර මුදල් ගෙවීමක් පරිදිය.

කඩා පාත් වූ පාර්ශව දෙකක් !

මෙම විද්‍යුත් ලිපියට පිළිතුරු වශයෙන් නීතිඥවරයා දේපොල හිමිකම් සමාගමේ හිමිකරුට සහ එහි කාර්ය සාධන අංශය වෙත උපදෙස් දී ඇත්තේ දේපොල අලෙවි කිරීමේ ගනුදෙනුවෙහි ඉතිරි මුදල් සම්බන්ධව තානාපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන තුරු ඒ මුදල් රඳවා තබා ගැනීමේ වගකීම දේපොල හිමිකම් සමාගම වෙත පැවරෙන බව ය.

2013 ජනවාරි 12 හෝ ඒ ආසන්න දිනක දී තානාපතිවරයා දේපොල හිමිකම් සමාගමට සහ නීතිඥවරයා වෙත දැනුම් දී ඇත්තේ ඩොලර් 3,32,027 / 35 ක ගෙවීම තුන්වන පාර්ශවයන් දෙකක් වෙත බැර කරන ලෙසය. එනම් තානාපති කාර්යාල උපදේශක සමාගම සහ ශ්‍රී ලංකාවේ සමාගමක් වෙත ය. මෙම සමාගම් දෙකම මෙම ගණුදෙනුවෙහි දී කිසිදු කාර්යයක් ඉටු නොකළ පාර්ශවයන් දෙකකි.

එම දැනුම් දීමෙහි වැඩි දුරටත් උපදෙස් දී ඇත්තේ තානාපති උපදේශක සමාගම වෙත ඩොලර් 82000/- ක් සහ ශ්‍රී ලංකාවේ සමාගම වෙත ඩොලර් 2,50,000/- ක් විද්‍යුත් අණකරයක් (wire transfer) හෝ චෙක් පතක් මගින් යන කවර හෝ ආකාරයකින් බැර කරන ලෙසයි.

2013 ජනවාරි 16 හෝ ඊට ආසන්න දිනයක දී මෙම ගණුදෙනුව නීතිඥවරයාගේ වොෂින්ටන් ඩීසී හි කාර්යාලයේ දී අවසන් කරන ලද අතර එම අවස්ථාවට තානාපති කාර්යාලයෙන් නිලධාරීන් තිදෙනෙක්, තානාපති කාර්යාල දේපොල ගණුදෙනු කරු, නීතිඥවරයා, දේපොල හිමිකම් සමාගමේ හිමිකරු සහ අලෙවිකරුවන්ගේ දේපොල ගණුදෙනුකාර සමාගමේ නියෝජිතයෙක් සහභාගී වී තිබේ. මෙම අවස්ථාවට තානාපතිවරයා සහභාගී වී නැත.

අන්තිමට ගැහුවේ මෙහෙමයි !

ගණුදෙනුව අවසන් කිරීමේ අවසන් ලේඛනයට අනුව පහත සඳහන් පරිදි ගෙවීම් සිදුකර තිබේ.

1) ඩොලර් 1,87,500/- ක් ගැනුම්කරුගේ නියෝජිත දේපොල ගණුදෙනුකාර සමාගමට
2) ඩොලර් 1,87,500/- ක් විකුණුම්කරුගේ නියෝජිත දේපොල ගණුදෙනුකාර සමාගමට
3) ඩොලර් 82,027 / 35 ක් තානාපති කාර්යාල උපදේශක සමාගමට සහ
4) ඩොලර් 2,50,000 /- ක් ශ්‍රී ලාංකික සමාගමට ආදී වශයෙනි.

ගැණුම්කරුගේ සහ විකුණුම්කරුගේ නියෝජිත දේපොල ගණුදෙනුකාර සමාගම් වලට ලැබිය යුතු වූ කොමිස් මුදල් නීත්‍යාණුකූල ගෙවීම් වන නමුත් තානාපති කාර්යාල උපදේශක සමාගමට සහ ශ්‍රී ලංකාවේ සමාගම වෙත වෙන්කරන ලද මුදල් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර නැත.

2013 ජනවාරි 17 හෝ ඊට ආසන්න දිනක දී දේපොල හිමිකම් සමාගම තම ගිණුමෙන් ඩොලර් 82,027 /35 ක මුදල තානාපති කාර්යාල උපදේශක සමාගම වෙත විද්‍යුත් අණකරයක් (wire) මගින් යවා ඇති නමුත් ශ්‍රී ලංකාවේ සමාගම වෙත ඩොලර් 2,50,000 ක් ඒ ආකාරයෙන් යැවීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.

නීතිඥවරයා විසින් මේ බව තානාපතිවරයා වෙත දැනුම් දීමෙන් පසුව තානාපතිවරයා තම පුද්ගලික ඊමේලය මගින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ සමාගම වෙත ඩොලර් 2,50,000/- ක් වටිනා චෙක් පතක් තැපැල් මගින් යවන ලෙස ය.

2013 ජනවාරි 21 හෝ ඒ ආසන්න දිනයක දී නීතිඥවරයා තානාපතිවරයා වෙත දන්වා ඇත්තේ ශ්‍රී ලංකා‌වේ සමාගම වෙත ඍජු ලෙස චෙක් පතක් යොමුකරනවාට වඩා තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සිටියදී ඔහුගේ නමට චෙක්පත යැවීම දේපොල හිමිකම් සමාගමට වඩාත් පහසු බව ය.

එයට ප්‍රතිචාර දක්වමින් තානාපති ජාලිය තම පුද්ගලික ඊ මේලය ඔස්සේ දන්වා ඇත්තේ දේපොල හිමිකම් සමාගමේ ඉල්ලීම පරිදි ඒ චෙක් පත අංක 2 කටුවන කර්මාන්ත සංකීර්ණය, කටුවන පාර, හෝමාගම, කොළඹ, ශ්‍රී ලංකාව යන ලිපිනයට තැපැල් කරන ලෙස ය.

මෙම ලිපිනය ජාලියට අයත් ‘සිලෝන් රෝයල් ටී සමාගමේ’ ලිපිනය බවට නීතිඥවරයා විසින් තහවුරු කරගෙන තිබේ. ඒ අනුව චෙක් පත එම ලිපිනයට යවන ලද නමුත් එය මුදල් කර ගැනීම සඳහා තානාපතිවරයා විසින් දරණ ලද උත්සාහය ද සාර්ථක වී නැත.

බැරි මරගාතේ ගැහිල්ල !

2013 මාර්තු 13 හෝ ඊට ආසන්න දිනයක දී ශ්‍රී ලාංකික ව්‍යාපාර හිමිකරුවෙකු නීතිඥවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මෙම දේපොල ගණුදෙනුවේ දී ශ්‍රී ලාංකික සමාගම ගණුදෙනුවට සම්බන්ධව සිටි බවටත් ඒ නිසා මේ මුදල් එම සමාගමේ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමට නිදහස් කරන ලෙසත් සඳහන් කළ ලියැවිල්ලක් සකස් කරන ලෙස ය. එසේ නමුත් මේ ශ්‍රී ලාංකික සමාගම ගණුදෙනුවේ කිසිදු කාර්යයක ට සම්බන්ධව සිටියේ නැත.

2013 මාර්තු 19 හෝ ඊට ආසන්න දිනයක දී තානාපතිවරයා තම පුද්ගලික ඊමේලය ඔස්සේ නීතිඥවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ ඔහුගේ ශ්‍රී ලංකා රජයේ නිල ඊමේල් ලිපිනය වෙත ශ්‍රී ලංකාවේ සමාගම සම්බන්ධව සඳහන් කිසිදු ලිපියක් නොඑවන ලෙස ය.

2013 මාර්තු 20 හෝ ඒ ආසන්න දිනයක දී දේපොල හිමිකම් සමාගම ශ්‍රී ලංකාවේ සමාගමෙහි බැංකු ගිණුම වෙත ඩොලර් 2,50,000 ක් විද්‍යූත් ක්‍රමයෙන් (wire) යවන ලද අතර ඒ මුදල ශ්‍රී ලංකාවේ බැංකුවකින් මුදල් කරගෙන තිබේ.

බඩු මාට්ටු වීමේ ආරම්භය !

මේ ගනුදෙනුව සිදුවී කලකට පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරියෙකු විසින් ඩොලර් 3,32,027 / 35 ක අමතර කොමිස් මුදලට සිදුවූ දේ පිළිබඳව විගණන පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. ඒ විමර්ශන නිලධාරියා හට මේ අතිරේක මුදල පිළිබඳව හෝ ශ්‍රී ලංකාවට මුදල් යැවීම පිලිබඳව හෝ පිළිගත හැකි පැහැදිලි කිරීමක් ලැබුනේ නැත.

මේ පිළිබඳ විගණනය පවත්වන ලද තානාපති කාර්යාලීය නිලධාරියා විසින් තානාපති කාර්යාල දේපොල අලෙවි සමාගමෙන් විමසන ලදුව එම සමාගම ප්‍රකාශ කර සිටියේ ගැණුම්කරුගේ සහ විකුණුම්කරුගේ දේපොල සමාගම් දෙක ලබා ගත්තේ මුලින් එකඟ වූ ඩොලර් 1,87,500/- බැගින් වූ කොමිස් මුදල පමණක් බවය. නීතිඥවරයාද සඳහන් කරන ලද්දේ ඩොලර් 3,32,027 / 35 ක් වූ අමතර කොමිස් මුදලක් ගණුදෙනුවට සම්බන්ධ වූ දේපොල සමාගම් විසින් ලබා ගත් බවක් තමන් නොදන්නා බවයි.

තානාපතිවරයාගේ මේ නීති විරෝධී ක්‍රියාවන් හෙළිදරව් වීමත් සමගම ඔහු ඒ මුදල පියැවීමට වහා පියවර ගත්තේ ය.

ජාලිය පිස්සා වූ හැටි !

 2013 ඔක්තෝම්බර් මාසයේ දිනයක තානාපතිවරයා තානාපති කාර්යාල දේපොල වෙළඳ සමාගම වෙතින් ඉල්ලීමක් කෙළේ ඊට පෙර තානාපතිවරයා සමග කරන ලද සාකච්ඡාවක් පරිදි ඔවුන් වෙත බැර කරනු ලබන ඩොලර් 3,32,000 /- ක මුදලක් ලබා ගන්නා ලෙස ය. තානාපති කාර්යාල දේපොල වෙළඳ සමාගම සිතා සිටියේ ඒ මුදල නේවාසික ගෘහස්තයක සිට කාර්යාල පරිශ්‍රයක් බවට අදාල ගොඩනැගිල්ලේ සිදුකරන ලද වෙනස් කිරීම් සඳහා වූ ගෙවීමක් ලෙස ය.

ඒ අනුව 2013 ඔක්. 21, 22 දෙදින තුල ඩොලර් 3,32,000 /- ක මුදලක් තානාපති කාර්යාල දේපොල වෙළඳ සමාගමේ ගිණුම වෙත බැර කරනු ලැබ තිබිණි.

1) 2013 ඔක්. 21 ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් ඩොලර් 40,000/- ක් (ඒ මුදල් නිෂ්කාශනයේ දී යොදා තිබූ සටහනක දක්වා තිබුනේ ‘ජාලිය වික්‍රමසූරිය මහතා වෙත ණය මුදලක්’ ලෙසය)
2) 2013 ඔක්. 21 තානාපතිවරයා දන්නා හඳුනන අයෙකු විසින් ඩොලර් 1,25,000 /- ක්
3) 2013 ඔක්. 21 තානාපතිවරයා විසින් ඩොලර් 32,000/- ක්
4) 2013 ඔක්. 21 තානාපති කාර්යාල උපදේශක සමාගමක් විසින් ඩොලර් 73,265/- ක් සහ
5) 2013 ඔක්. 21 තවත් තානාපති කාර්යාල උපදේශක සමාගමක් විසින් ඩොලර් 61,735/- ක් වශයෙනි.

2013 ඔක්. 22 හෝ ඊට ආසන්න දිනයක දී තානාපති කාර්යාල දේපොල වෙළඳ සමාගම වෙත තානාපතිවරයා දන්වා ඇත්තේ ඒ වන විට සමාගමේ ගිණුමට බැර වී ඇති මුදල් තානාපති කාර්යාලයට අවශ්‍ය බැවින් තානාපති කාර්යාලයට අයත් ශ්‍රී ලංකා රජයේ බැංකු ගිණුමට බැර කරන ලෙසයි.

මේ අනුව 2013 ඔක්. 22 හෝ ඊට ආසන්න දිනයක තානාපති කාර්යාල දේපොල වෙළඳ සමාගම ඩොලර් 3,32,027 / 35 ක් වූ චෙක් පතක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නමට නිකුත් කර ඇති අතර ඒ චෙක් පත තානාපතිවරයා විසින් පෞද්ගලිකවම සමාගම වෙත ගොස් ලබා ගෙන ශ්‍රී ලංකා රජයේ බැංකු ගිණුමේ තැන්පත් කර තිබේ.

මෙම මුදල් තැන්පත් කිරීමෙන් පසුව තානාපති ජාලිය තානාපති කාර්යාලීය දේපොල වෙළඳ සමාගම නමින් ලිපියක් ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන්ව ඇත්තේ ඩොලර් 3,32,027 / 35 ක මුදල ‘අවසන් ආපසු ගෙවීම’ බව ය. එහෙත් ඒ සමාගම එවැනි ලිපියකට අත්සන් තබා හෝ එවැනි ලිපියක් යවා හෝ නැත.

හොරකම සහතිකයි..!

 මේ අනුව වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරූ ජාලිය වික්‍රමසූරිය මහතා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී ශ්‍රී ලංකා රජය නොමග යවමින් මුදල් වංචාවක් සිදුකර තිබීමත්, නීත්‍යාණුකූලව හිමිකාරත්වයක් නොමැති මුදලක් නීත්‍යාණුකූල හිමිකාරත්වයක් නොමැති පාර්ශවයන් වෙත ලබා දෙමින් මුදල් විශුද්ධිකරණයක යෙදීමත් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර තිබේ.

ඊට අමතරව ඉහත කී වංචාව දැනුවත්ව සිදුකිරීමෙන් පසුව 2014 දී තම ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා වූ ලේඛන වලට තමන් එවැනි වරදක් සිදුකර ඇති බව සඳහන් නොකිරීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ආගමන නීතිය ද උල්ලංඝනය කරනු ලැබ තිබේ.

සත්‍ය වශයෙන්ම ඒ තුන්වන අධිචෝදනාව ජාලිය වික්‍රමසූරිය විසින් ලබා ගත් බෝනස් චෝදනාවකි. ඔහු ලංකාවෙන් පැනගොස් ඇමරිකාවේ සැඟවෙන්නට උත්සාහ නොකෙළේ නම් මෙකී තුන්වන අධිචෝදනාවට ඔහු හසු නොවීමට ඉඩ තිබිණ.

පව්කාරයාටද දෙන දෙයියෝ ගෙටම ගෙනැවිත් පාපය අත පුරවා සාක්කුවටම දෙති. නමුත් ඒ ඇමරිකාව වැනි නීතිය අකුරටම ඉටුවන රටක පමණි.

(ලංකාඊනිව්ස්)

අදාළ අධි චෝදනා පත්‍රය