Language Switcher

V2025

ගෝඨාභයට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් විදේශ ගතවීමේ සූදානමක් !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ලබන 22 වන දා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.

ඒ, මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඉදිකර ඇති ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි යනුවෙන් නීතිපතිවරයා ගොනු කර ඇති පෙත්සම බ්‍රහස්පතින්දා (ජනවාරි 17) ත්‍රිපුද්ගල විශේෂ මාහධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාක්ෂිකරුවන් 15 දෙනා අතරින් කීප දෙනෙකු නඩු විභාගය ආරම්භ වන කාලසීමාවේ විදේශගත වීමේ සූදානමක් පවතින බවත්, එසේ විදේශගත වූවොත් නඩු විභාගය පවත්වාගෙන යාමට බාධා එල්ල වන බවත් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මේ හේතුවෙන් එසේ විදේශගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස අදාළ සාක්ෂි කරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය නඩු විභාගය පැවැත්වෙන කාල සීමාවේ විදේශගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස අදාළ සාක්ෂි කරුවන්ට නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේය.

පසුගිය රජය සමයේ, මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින්, නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න මෙම නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරයි.

අධිකරණය මගින් මීට පෙර නිකුත් කර තිබූ නොතීසියක් මත ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ප්‍රශාන් ගුණවර්ධන බ්‍රහස්පතින්දා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නඩුවට අදාළව විත්තිය ඉල්ලා සිටි එහෙත්, 'සොයාගත නොහැකි වූ බව සඳහන්' ලේඛනවලින් බොහොමයක් තමා පත් කරන ලද කමිටුවක් මගින් සොයාගෙන ඇති බව ප්‍රශාන් ගුණවර්ධන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

නඩු විභාගය ආරම්භ වීමට පෙර එම නඩුවට අදාළ මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණයට ප්‍රකාශ කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය නම් කර තිබේ.

ඉකුත් රජය සමයේ මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරයි.

(බීබීසී)