මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවයි !

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවයි !

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ සියලු ම ඉදිකිරීම් පෙබරවාරි 12 වන දා දක්වා අත්හිටුවන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මුලතිව් ම‍හේස්ත්‍රාත් එස් ලෙනින්කුමාර් විසින් ඉහත කී නියෝගය කරනු ලැබුවේ, නයාරු ගුරුකන්ද පුරාණ රජ මහා විහාරයේ හින්දු කෝවිලක් ඉදි කිරීමට ගත් බව පැවසෙන උත්සහයත් සමග පොලිසිය විසින් ගොනු කරන ලද නඩුව බ්‍රහස්පතින්දා (ජනවාරි 24) පළමු වරට විභාගයට ගත් අවස්ථාවේදීය.

තෛපොංගල් සැමරීමට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණ නයාරු ගුරුකන්ද පුරාණ රජ මහා විහාර භූමියේ කෝවිලක් ඉදිකිරීමේ උත්සහයක නිරත වූ බවට ජනවාරි 14 වන දා චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් කියා සිටියේ, විහාරය පිහිටි ස්ථානයේ හින්දු ජනතාවගේ වන්දනාමානයට ලක් වූ පාරම්පරික කෝවිලක් පිහිටි බවය.

එළැඹෙන නඩු වාර දිනයේදී පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුව විසින් විහාරස්ථානය සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 105192271 nayarutemple 9

පසුගිය 14 වන දා ට්‍රැක්ටර් දෙකක පැමිණි පිරිසක් සිය අවසරයකින් තොරව විහාර භූමියේ මඩුවක් ඉදිකිරීමට උත්සහ කළ බව පවසන ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමි, "මම ඇහැව්වා ඇයි කියලා. එතකොට එයාලා කිව්වා අපේ කෝවිලක් පන්සල ඇතුළේ තියෙනවා ඒකේ තෛපොංගල් සමරන්න ආවා කියලා," යනුවෙන් සඳහන් කළහ.

ඊට සිය විරෝධය පෑමෙන් අනතුරුව එම පිරිස චාර්ල්ස් නිර්මලනාදන්, ශාන්ති ස්කන්ධරාජා සහ එස් ශිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් අමතා ඔවුන් එහි ගෙන්වා ගත් බව උන්වහන්සේ පවසති.

"මන්ත්‍රීවරු පිරිස ඇවිල්ලා මහා ගාල ගෝට්ටියක් කෙරුවා. පොලිසියෙනුත් ආවා."

විහාරස්ථානය පිහිටි ස්ථානයට දළදාව වැඩමවා ඇති බවත් බුද්ධ වර්ෂ 244 සමයේ සිට සටහන් විහාරස්ථානයේ පවතින බවත් මේධාලංකාරකිත්ති හිමියෝ පවසති.

2013 අගෝස්තු 16 වන දා නිකුත් කළ 1823/73 ගැසට් නිවේදනය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර 93 ක භූමියක් විහාරස්ථානයට වෙන් කරනු ලැබ ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

"යුද්දේ කාලයේ පන්සල ඉස්සරහා පොඩි දේවාලයක් හදලා යුධ හමුදාවේ කට්ටිය හා දෙමළ ජනතාව පූජා පවත්වලා තියෙනවා. ඒත් මේ විහාරස්ථානය ගැන අතීත තොරතුරු බුද්ධ වර්ෂ යුගය දක්වා විහිදෙනවා," උන්වහසේ වැඩිදුරටත් සඳහන් කළහ.

"මම පන්සලට ආවේ දැනට අවුරුදු අටකට කලින්. යුද්දේ ඉවර වුණාට පස්සේ. මම දැන් පන්සල ටිකක් දියුණු කරගෙන යනවා. මම දැන් විහාරස්ථානය ඉදිරිපස බුද්ධ පිළිම වහන්සේ නමක් සකස් කරගෙන යනවා. මේ නඩු තීන්දුවත් එක්ක ඒවායේ වැඩ කටයුතු කර ගන්න විදියක් නැහැ."

 105192270 nayarutemple 12

විහාර භූමිය තුළ තෛපොංගල් සැමරීමට විහාරස්ථානාධිපති හිමියන් අවසර නොදීමට ගත් තීන්දුවට සිය විරෝධය පළ කරන බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්, පාරම්පරික කෝවිලක් පිහිටි විහාර භූමියේ සිය ආගමික කටයුතු සිදු කිරීමට අවසරයක් අවශ්‍ය නොමැති බව පවසයි.

"යුද්දෙන් පස්සේ හමුදාව තමයි ඔය පන්සල හදලා තියෙන්නේ. එහෙම කියලා අපේ ජනතාවගේ කෝවිලේ ‍පොංගල් හදන්න දෙන්නේ නැතුව ඉන්න බැහැ .පස්සේ ඒ ගැන මම තේරුම් කරලා දුන්නා. එහෙම කරලා අපේ කට්ටිය පොංගල් කිරිබත් හදලා ඉවර වෙලා එතැනින් ඇවිල්ලා තිබුණා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව උතුරු පළාතේ බෞද්ධ ප්‍රජාව නොමැති ප්‍රදේශවල විහාරස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මීට ඉහතදීත් විරෝධය පළ කර තිබේ.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න