වෘත්තීය ගරුත්වය රැකගෙන අධිකරණය තුළදී කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ 67 වැනි සාක්‍ෂිකරු වන පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස්. අසේල ඉද්දවෙල මහතාට ඊයේ (25 දා) අවවාද කර ඇත.
විනිසුරු මඩුල්ල එලෙස අවවාද කළේ, අසේල ඉද්දවෙල නම් නිලධාරියා අධිකරණයට කැඳවා ඇත්තේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීමට මිස විත්තිකරුවන්ට අධිකරණය තුළදී අතට අත දී පිළිගෙන ආචාර සමාචාර පවත්වා සතුටු සාමිචියේ යෙදීමට නොවන බව පවසමින් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කළ කරුණු දැක්‌වීම අනුමත කරමින්ය.
වාර්තා වන ආකාරයට රජයේ ඉහළ තනතුරක් දරන එම සාක්‍ෂිකරු විශේෂ මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හත් දෙනකුට එරෙහි පවරා ඇති නඩුව කැඳවූ පසුගිය 22 වැනිදා වාඩි වී සිටි තැනින් නැගිට එම නඩුවේ පළමුවැනි විත්තිකාර ගෝඨාභය රාජපක්‍ෂ අසලට ගොස් ඔහුට අතට අත දී ආචාර සමාචාර පවත්වා ඇත.
විත්තිකරුවකු සමඟ එලෙස අධිකරණ ශාලාව තුළදී හැසිරීම පැමිණිල්ල කිසිසේත්ම අපේක්‍ෂා නොකරන බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දිලීප පීරිස් එහිදී සඳහන් කර ඇති අතර පැමිණිල්ල මෙහෙයවන තමා කටයුතු කරනුයේ විත්තිකරුවන්ගේ හා සාක්‍ෂිකරුවන්ගේ තරාතිරම හෝ වෙනත් අවශේෂ කරුණු අනුව නොවන බව ද එහිදී පැවසූ බවත් වාර්තා වෙයි.
එමෙන්ම පැමිණිල්ලේ යම් සාක්‍ෂිකරුවකු සිය තනතුරු ගරුත්වය ආරක්‍ෂා නොකරන ලැඡ්ජා සහගත අයුරින් කටයුතු කරන්නේ නම් ඒ බව පෙන්වා දීමට තමා පසුබට නොවන බව ද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා ඇති බවද වාර්තා වෙයි.
එහිදී සාක්ෂිකාර අසේල ඉද්දවෙල පවසා ඇත්තේ තමා එලෙස කටයුතු කළේ නොදැනුවත්කම නිසා බවය.

