කුමන්ත්‍රණකරුවන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න : කරූ යළිත් මැදිහත් වෙයි !

කුමන්ත්‍රණකරුවන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න : කරූ යළිත් මැදිහත් වෙයි !

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පටු දේශපාලන අවස්ථාවාදී කටයුතු වෙනුවෙන් එය අවභාවිත කිරීමට නොහැකිවූ පසුබිමේ කීර්තිය පළුදු කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි.

ඊට නිදර්ශන ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේනගේ ඇතැම් යෝජනා විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ක්‍ෂේප කිරීම හමුවේ විජේදාස රාජපක්ෂ වැන්නන් ඒ වෙත එල්ල කරන විවේචනයන්ය.

මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීමට සහ ඒ සම්බන්ධව ජනතාව අතර වැරදි මතයක් ඇතිවීම වැළක්වීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වූ කතානායකවරයා විසින් පසුගියදා සිදුකර ඇති මැදිහත්වීම ඉතාම වැදගත් බවද විචාරක මතය වී තිබේ.

19 වන සංශෝධනයේ අස්වැන්න !

පහත දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ගෞරවය සහ කීර්ති නාමය වැනසීමට එරෙහිව කතානායක කරු ජයසූරිය සිදුකල මැදිහත්වීමට අදාළ ප්‍රකාශයයි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙන්ම ඉන් පිටතදී සිදු කරන යම් යම් ප්‍රකාශ හේතුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳ වැරදි අවබෝධයක් රට තුළ ඇති විය හැකි බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලුම සාමාජිකයන් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කරන මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මාගෙන් ඉල්ලා සිටින ලදී. එබැවින්, මෙයට පෙර අවස්ථාවකදී ද මා මෙම සභාව දැනුවත් කර ඇතත්, යළි පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව, පැවති පාර්ලිමේන්තු සභාව වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කරන ලදී. එහි සංයුතියද පාර්ලිමේන්තුවේ අදහස් නියෝජනය වන ආකාරයෙන් සමන්විත බව මාගේ හැඟීමයි.

2015 වර්ෂයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපිත කිරීමෙන් පසු, එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වූ සියලුම සාමාජිකයන්ගේ එකඟතාව මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාවේ සඳහන් ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේ දී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ ව්‍යවස්ථාවේ සඳහන් තනතුරු සඳහා තැනැත්තන් පත් කිරීම සඳහා අප වෙත එවන නාම යෝජනා අනුමත කිරීමේදී, දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පිහිටවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුගමනය කළ නිර්ණායකයන්ම යොදා ගන්නා බවට තීරණය කරන ලදී.

මඩ නැතුව පොතේ හැටියට එන්න !

නමුත්, එකී නිර්ණායක අවශ්‍ය නම් සංශෝධනය කළ හැකි බවත්, ඒ සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සුදුසු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වූ බැවින්, ඒ සඳහා අදහස් හා යෝජනා ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයන් ද (2016.02.25) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එවක සිටි මන්ත්‍රීවරයන් ද (2016.03.02) දැනුවත් කරන ලදී. නමුත්, මේ වන විටත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් අප වෙත ලැබී නැත. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එසේ අනුගමනය කළ ක්‍රමවේදයන් ඇතුළත් වාර්තාවක් 2016.12.08 දින මා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ බව ද දන්වනු කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලුම සාමාජිකයන් සහ සභාපතිවරයා ලෙස මා විසින් මෙතෙක් ගත් සෑම තීරණයක්ම නීත්‍යනුකූලව, විනිවිදව මෙන්ම ස්වාධීනව හා අපක්ෂපාතීව ගත් තීරණ බවට අවධාරණය කරමි. එහිදී සාධාරණ හා විනිවිදභාවයෙන් යුත් ක්‍රියා මාර්ගයන් අනුගමනය කරමින් සභාවේ සියලුම සාමාජිකයන්ගේ තීරණ කිසිදු බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසන බවත්, සියලු අදහස් සලකා බලා අපක්ෂපාතී අවසන් තීරණයන්ට එළඹෙන බවත් දන්වමි.

තීරණ ගත්තේ සියලු සාමාජිකයන්ගේ කැමැත්ත මතය !

මතභේදයට ලක්ව ඇති ඇතැම් තනතුරු සඳහා තැනැත්තන් පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් අප වෙත එවන නාම යෝජනා සලකා බැලීමේදී ද, සභාවේ සියලුම සාමාජිකයන්ගේ කැමැත්ත මත එම තීරණ ලබා දී ඇති බව ද දන්වමි.

ඇතැම් අවස්ථාවල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ රාජකාරිමය වශයෙන් වැදගත් නොවන පෞද්ගලික කරුණු පිළිබඳ විවේචනය කරනු අසන්නට ලැබුණු අතර, එය ඉතා අහිතකර තත්ත්වයක් බව අපගේ මතයයි. උපරිමාධිකරණ විනිශ්චයකාර ධුරයන්ට පත් කිරීම සඳහා තැනැත්තන් සලකා බැලීමේදී නිර්ණායකයන්හි දක්වා ඇති කරුණු, නිර්දේශිත තැනැත්තන්ගේ ජ්‍යෙෂ්ඨත්වය පමණක් නොව, අග්‍රවිනිශ්චයකාරතුමන්ගේ නිර්දේශය සහ ක්ෂේත්‍රය තුළ ඇති පිළිගැනීම ද සලකා බැලේ. මෙම ක්‍රමවේදය මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමයේ ද ප්‍රශංසාවට ලක් වූ බව දැන්විය යුතුය. එබැවින්, උක්ත තෝරා ගැනීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලු සාමාජිකයන්ගේ එකඟතාවෙන් උපරිම විනිවිදභාවයකින් සිදු කරන බවත්, අපක්ෂපාතීව කටයුතු කරන බවත් යළි අවධාරණය කරමි.

ශ්‍රී ලංකාවේ අධිකරණය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ විශ්වාසය සහ ගෞරවය හිමිවන බවද මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිමි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න