සිරිසේනගේ කමිටුවේ කොක්කක් : කිෂූ ගෝමස්ට සංචාරක ප්‍රවර්ධනයේ දොර වැසේ

සිරිසේනගේ කමිටුවේ කොක්කක් : කිෂූ ගෝමස්ට සංචාරක ප්‍රවර්ධනයේ දොර වැසේ

ජනාධිපති සිරිසේන විසින් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අර්බුදයට යැවීමට දිගින් දිගටම බාධා සිදුකරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

ඒ හේතුවෙන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය පත්කර මාසයකට අධික කාලයක් ගතවී ඇතත් අමාත්‍යංශ සඳහා ආයතන ප්‍රධානීන් පත්කර ගැනීමේ අර්බුදයක් මතුව ඇති බවත් එහෙත් ජනාධිපති සිරිසේන ඒ සම්බන්ධව සමාජයෙන් වසං කරමින් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවටම අභූත චෝදනා නගන බව එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

කිෂූ ගෝමස්ට දොර වැසෙයි !

ඊට ආසන්නතම සිදුවීම ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් කිෂූ ගෝමස් මහතා අද (30) දිනයේ වැඩබාර ගැනීමට නියමිතව සිටියද හදිසියේම එය අවලංගු කිරීම කටයුතු යෙදවීමය.

හදිසියේම මෙම පත්කිරීම් අවලංගු කලේ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම් පිලිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති කමිටුවේ බලපෑම් නිසා බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම නව පත්කිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරියේ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වීමට සංචාරක අමත්‍යාංශ මාධ්‍ය ඒකකය කටයුතු යොදා තිබූ අතර ඊට සහභාගී වූ මාධ්‍යවේදීන්ට දන්වා සිටියේ එය හදිසියේම කල් දැමූ බවය.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයට අනුයුක්තව පවතින අධිකාරි හතරක නව සභාපතිවරුන් පත් කිරිම ඊයේ (29) සිදු කිරීමට නියමිතව තිබුණද එයද තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යංශය ආරංචි මාර්ගද සඳහන් කරයි.

ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය හා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයන් සඳහා සභාපතිවරුන් පත් කිරීම මෙලෙස අත්හිටුවා ඇතැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් රන්ජිත් ද සිල්වා මහතා ද ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපතිවරයාව සිටි කුමාර් ද සිල්වා මහතා තවදුරටත් එම තනතුර සඳහා ද ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ ප්‍රධානියා වශයෙන් දිලිප් ද සිල්වා මහතා ද එසේ පත්කිරීමට යෝජිතව සිටි සෙසු පුද්ගලයින් වේ.

අමාත්‍යංශයේ කරුණු දැක්වීම !

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ මෙම නව පත්කිරීම් සිදුකිරීමට හා ඒ සම්බන්ධයෙන් අදාල සභාපතිවරුන් ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණ ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම පත් කිරීම් තාවකාලිකව කල්ගිය බවයි.

ජනාධිපති නිර්දේශ ලැබෙන තුරු බලාගෙන හිටියේ රටට වැඩක් කරන්නයි - කිෂූ ගෝමස් !

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපති ලෙස පත් කිරීමට නියමිතව සිටි මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ කිෂු ගෝමස් මහතා ගෙන් මෙම සිදුවීම ගැන 'ලංකාදීප' පුවත්පත කළ විමසීමකදී හෙතෙම පවසා ඇත්තේ, අදාළ පත් කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් වූ බවත් එම පත්වීම බාර ගැනීමට සංචාරක අමාත්‍යාංශය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට තමන් ගිය අවස්ථාවවේදී එම පත්කිරීම තාවකාලිකව අත්හිටුවූ බවට එහි නිලධාරීන් තමන්ට දැනුම් දුන් බවත්ය.

හෝටල් හිමිකරුවන්ගේ සංගමය ඇතුළු සංචාරක කර්මන්තයේ ව්‍යවසායකයින් විසින් සංචාරක අමාත්‍යවරයා හරහා තමන්ට මෙම තනතුර බාර ගැනීමට ආරාධනා ලැබූ බවත් ඒ පිලිබඳ අමාත්‍යවරයා දැනුම්වත්ව සිටි බවද කිෂු ගෝමස් මහතා කියා සිටියි.

රට වෙනුවෙන් සහ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා තමන් මෙම තනතුර බාර ගැනීමට තීරණය කළ බවත් අදාළ පත්කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ගැනීමට සති කිහිපයක් තිස්සේ බලා සිටි බවත් කිෂු ගෝමස් මහතා වැඩිදුරටත් පවසා ඇත.

සිරිසේන කියන කතා !

රජයේ සංස්ථා සහ මණ්ඩල සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කිරීම කඩිනම් කරන්නැයි ජනාධිපති සිරිසේන ආණ්ඩුවට යළි දැනුම් දී ඇත.ඒ, ඊයේ (29) රැස් වූ කැබිනට් මණ්ඩලයේදීයි.

රාජ්‍ය සංස්ථා, මණ්ඩල ප්‍රධානීන් පත් කිරීම සිදුනොවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රමාදයකින් බවට පළ වන වාර්තා ප්‍රතික්‍ෂේප කරන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

අදාළ නම් ජනාධිපති කාර්යාලයට ලබාදීමෙන් පසු අවශ්‍ය කටයුතු සිදු කිරිමට සූදානම් බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

එබැවින් වහාම රජයේ සංස්ථා සහ මණ්ඩල සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කරන ලෙසට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී දැනුම් දී ඇත.

ඉකුත් 14 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ සතියක් තුළ රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල ප්‍රධානීන් පත් කරන ලෙසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න