ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යටතේ කුළුබඩු අධිකාරියක් පිහිටුවීම සම්බන්ධයෙන් මේවනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ජා පැවැත්වෙන බව වාර්තාවේ.
ගම්මිරිස්, කරුංකා, සාදික්කා, වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය හා අපනයනය සම්බන්ධයෙන් විදිමත් පරිදි කටයුතු කිරීම හා එම බෝග නිෂ්පාදනය කරන ගොවින් ආරක්ෂා කිරීම සඳහා මෙවැනි අධිකාරියක අවශ්‍යතාවය දයා ගමගේ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානයට යොමුකර ඇත.
කෙසේවුවද මෙවැනි අධිකාරියක් අලුතින් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය බලවත්සේ විරෝධය පළකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සලට පත්ව සිටින දයා ගමගේ මහතා, තමා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවට අගමැතිවරයාට පවසා ඇති බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
කුළු බදු ආනයනය අත්හිටුවයි !
මේ අතර ශ්‍රී ලංකාව වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා, වසාවාසි, සියඹලා සහ කුරුඳු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තාකර ඇත.
මෙම කුළුබඩු ප්‍රතිඅපනයනයේ දී හා ආනයනයේ දී සිදුවන වංචනික ක්‍රියාවන් හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ්‍රීත කර්මාන්තවලට ඇතිවන ගැටලූ විසදීම පිණිස රජය මෙම තීරණය ගෙන තිබෙන බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවෙන් ඉංදියාවට හා පකිස්තානයට ප්‍රතිනැව් ගත කෙරෙන මෙම භාණ්ඩ ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස වාර්තා වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රමවේදයන් ස්ථාපනය කිරීමටද රජය තීරණය කර ඇති බව එම පුවත් වාර්තාවේ දැක්වේ.
එම පුවත් වාර්තාව සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ, එවැනි පියවරක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නොමැති බවයි.

