Language Switcher

V2025

කතානායකගෙන් සිරිසේනට සංඥාවක් !

මැතිවරණවලින් පසුව තවදුරටත් සතුරු ආකල්පයෙන් කටයුතු නොකර අපේ යුගයේ ප්‍රශ්ණ අපේ යුගයේම විසඳා නූපන් පරපුරට සමෘධිමත් සංවර්ධිත රටක් උරුමකර දීමට කැපවෙමු යැයි තමා මෙරට සියළුම ජ්‍යෙෂ්ඨ දෙශපාලන නායකයින්ට අවස්ථා ගණනාවක දී ආයාචනා කර ඇති බවත්, එලෙස කටයුතු කළ හැකිනම් අප යුගයේ මුහුණ දුන් අමිහිරි ප්‍රශ්න අනාගත පරපුරට ඉතිරි නොවනු ඇතිබවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කාළගුණ ආපදා හේතුවෙන් විපතට පත්වන රටවල් අතර ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවට තවදුරටත් දේශපාලන අර්බුධ සහ අසමඟිකම්වලින් බැට කෑමට නොහැකි බව ද ඊට වඩා ජාතියක් ලෙස මුහුණ දිය යුතු අභියෝග අප හමුවේ ඇතිබව ද හෙතෙම සඳහන් කළේය.

හෙට උපදින පරපුරට සමෘධිමත් දේශයක් තුළ භාරදිය හැකි හොඳම ශිෂ්ඨ සම්පන්න දායාදය ප්‍රජාතන්ත්‍රවාදය බවද නිදහසේ අගය එහි තිබෙන අවස්ථාවට වඩා නොමැතිවිට වැටහෙන බවද කී කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි රටවල ජනතාව ගෙවන ජීවිත දෙස බලනවිට ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් ආශ්වාදනීය හැඟිමක් ද යන්න පසක්වන බව ද සඳහන් කළේය.

කතානායකවරයා මේ බව පලකළේ ගාල්ල නගරයේ ඉදිවන ශ්‍රී ලංකාවේ විශාලතම සම්මන්ත්‍රණ ශාලාව සහිත ගොඩනැගිලි පරිශ්‍රය සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ගාලු පුරවරයට ලැබෙන මෙම දායාදය ගාල්ල දිස්ත්‍රික්කයේ අභිමානය සළකුණු කරන සුවිශේෂී සංකේතයක් වනු ඇති බව ද කතානායකවරයා පැවසීය.

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන, දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටි ආරච්චි, බන්දුලාල් බන්ඩාරිගොඩ, මනූෂ නානායක්කාර, පියසේන ගමගේ යන අය මේ සඳහා එක්ව සිටියහ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා සඳහන් කළේ නිදහස ලබා වසර 70 ක් නිමකරන මොහොතේ පපුවට අත තබා හෘදය සාක්ෂියෙන් විමසිය හැකිනම් අපට වැරදුන මඟහැරුණ තැන් පිළිබඳව නිවරදි හැඟීමකින් යුතුව ඉදිරිය බලා යා හැකි බවයි.

කතානායකවරයා උත්සවය අමතමින් මෙසේ ද කීය.

බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන අවස්ථාව වනවිට අප සහ ජපානය අතර තිබුණේ ඩොලර් එකක වෙනසක්. අද අප අතර මෙතරම් පරතරයක් නිර්මාණය කළ සාධකය කුමක්ද ? ජනවාර්ගික අසමගිය, දේශපාලන න්‍යායපත්‍රයන්ට අනුව රටේ ගමන්මඟ විවිධ විට වෙනස්කිරීම මෙන්ම සාමූහිකව ඉලක්කයක් හඹායාමට අප අසමත් වීම නිසයි.

වර්තමානය වන විට අප ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ රටක් ලෙස ලෝකයේ ගෞරවයට පාත්‍ර වී සිටන නමුත්, ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගත යුතුව තිබෙනවා.

තවදුරටත් අපේ අධිකරණයට චෝදනා නඟා විදෙස් විනිසුරුවන්ගේ මැදහත්වීම ගැන හඬක් නොනැගෙනු ඇතැයි මම කල්පනා කරනවා. අපේ මානව හිමිකම් කොමිෂන් සභාව අද්විතීය ස්ථානයක් ලෝකය හමුවේ තහවුරු කර තිබෙනවා.

දැන් ආර්ථික සමෘධිය අත්පත් කරගැනීම සඳහා හොඳ සැළැස්මක් අවශ්‍යයි. ගාල්ල දිස්ත්‍රික්කය රටේ ඉතාම වාසනාවන්ත ප්‍රදේශයක් තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස් වැනි ඕනෑම දෙයක් වැවෙන සරු පොළොවක් වගේම රටේ වඩාත්ම ආකර්ශණීය සංචාරක වෙරළ තීරය ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වෙනවා.

ඒ වගේම අති දක්ෂ මානව සම්පතක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිටිනවා. වජිර අබේවර්ධන ඇමතිතුමා මෙම ප්‍රදේශයේ මිනිසුන් අතර බිහි වුණු විශිෂ්ඨයෙක්. එතුමා ඕනෑම කෙනෙකුට සවන් දෙන තමන්ට පැවරෙන වැඩකොටස ඉතාම වගකීමෙන් ඉටුකරන පරිණත නායකයෙක්.

ගාල්ලට ලැබෙන ‍මෙම සම්මන්ත්‍රණ ශාලාව එතුමාගේ ධෛර්යයේ ප්‍රතිඵලයක්. මෙතුළින් ගාල්ලට විශාල ආලෝකයක් ලැබේවි. කොළඹ සම්මන්ත්‍රණ ශාලාවල පැවැත්වෙන ජාතික මට්ටමේ උත්සව මෙම ප්‍රදේශයේ පැවැත්වීමට හැකිවේවි.

රටේ හැම ප්‍රදේශයකටම ගාල්ලට වැනි සමබර සංවර්ධනයක් පිලිබඳව අවධානය යොමුකිරීම වැදගත් බවද දේශපාලකයා තුළින් ජනතාව අපේක්ෂා කරනුයේ එවන් සැළසුම් සහගත සේවයක් බවද මෙහි දී කතානායකවරයා සඳහන්කළේය. ස්වකීය අමාත්‍යාංශය තුළින් ගාල්ලට පමණක් නොව රටටම කාර්යක්ෂමව වැඩකරන ඇමතිවරයෙක් ලෙස වජිර අබේවර්ධන ඇමතිවරයා පිළිබඳව තමා තුළ විශාල ප්‍රසාදයක් පවතින බවද මෙහිදී කතානායකවරයා පැවසීය.

– කතානායක මාධ්‍ය ඒකකය