බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා

බ්‍රිතාන්‍යයේ ජාතිවාදයට එරෙහිව සටන් වැදුණු ශ්‍රී ලාංකිකයා

ජාතිවාදයට එරෙහිව සටන් කළ චින්තකයෙකු, කෘතහස්ත ලේඛකයෙකු, දේශපාලන විචාරකයෙකු, ගුරුවරයෙකු සහ සමාජ සාධාරණය උදෙසා සටන් වැදුණු ශ්‍රී ලාංකික ක්‍රියාධරයෙකු වූ අම්බලවානර් සිවානන්දන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරදී සිය දිවියෙන් සමු ගත්තේය.

විසි වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ සිවානන්දන් 35 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාව හැර යන්නේ 1958 වාර්ගික ගැටුම්වලින් හටගත් කම්පණය හේතුවෙනි.

සිය උපන් බිම හැර යාමෙන් අනතුරුව Institute of Race Relations (IRR) ආයතනයේ පුස්තකාලයාධිපති තනතුරට පත්වන සිවානන්දන් එම පුස්තකාලය ගොඩනැගීම පිණිස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

පසුව ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට සහ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 'Race' (පසුව 'Race & Class') සඟරාවේ සංස්කාරක පදවියට ද පත්විය.

ඔහු බ්‍රිතාන්‍ය සමාජයේ ආයතනගතව පවතින ජාතිවාදයට එරෙහිව හඬ නගන ප්‍රධාන පෙළේ ක්‍රියාධරයෙකු බවට පත්වන්නේ ඒ සමයේදීය.

ROTA ආයතනයේ Oral History ව්‍යාපෘතිය වෙනුවෙන් අම්බලවානර් සිවානන්දන් පිළිබඳව වීඩියෝ විශේෂාංගයක් නිර්මාණය කළ පූර්ණිමා කරුණාකඩාචරන් බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි, ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නමුදු ඔහුගේ අරගලය එක් ජාතියක් හෝ ජනවර්ගයක් පමණක් උදෙසා කෙරුණු අරගලයක් නොවේ.

 99476845 whenmemory
"ඔහු තමයි 'Politically Black' කියන සන්දර්භය හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ ඔහු සමේ වර්ණයෙන් ඔබ්බට ගියා. ඔහු කතා කළේ 'දේශපාලන වර්ණය' ගැන," යනුවෙන් පූර්ණිමා අදහස් පළ කළේ සිය මිතුරා අහිමිවීම පිළිබඳව ශෝකයෙන් තැවෙමිනි.

සිවානන්දන් නම් "දැවැන්ත මිනිසා" පිළිබඳව කිසිදු ගුණ කථනයක් පරිපූර්ණ නොවන බව අවධාරණය කරන ඇය, "ඕනෑම ගුණ කථනයක් සිවා ගැන කරන වර්ණනාවෙන් සුළු කොටසක් විතරයි," යනුවෙන් ද සඳහන් කළාය.

ROTA ආයතනය සමග සිය ළමා කාලය පිළිබඳව අදහස් දක්වමින් දෙමටගොඩ වාසය කළ සමයේ සිංහල, මුස්ලිම් සහ දෙමළ ජාතික දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය ඔහු සිහිපත් කර තිබුණි.

බ්‍රිතාන්‍යයේදී ඔහුගේ මිතුරු කැලට තවත් ජාතීහු එක් වූහ.

"මම සිංහල සින්දු කිවුව. මම බයිලා කැප්ටන් කෙනෙක්. මම අයිරිෂ් සින්දු කිවුව."

කිසිවෙකු පිළිබඳ සැබෑ අර්ථකතනය විය යුත්තේ ඒ තැනැත්තාගේ ජාතිය, ආගම හෝ පසුබිම නොව ඔහුගේ/ඇයගේ "හැසිරීම" බව සිවානන්දන් අවධාරණය කළේය.

බොහෝ දෙනා ඔහු හඳුන්වා දෙන්නේ ලේඛකයෙකු සහ බුද්ධිමතෙකු වශයෙන් බව පවසන පූර්ණිමා කරුණාකඩාචරන් විසින් සිවානන්දන් විග්‍රහ කරනු ලැබුවේ විවිධ ක්ෂේත්‍රයන් ගණනාවක සිය ආධිපත්‍යය විහිද වූ අද්විතීය මිනිසෙකු වශයෙනි.

"ඔහු හමුවෙන්න කලින් පවා, මට ඔහුත් එක්ක ආත්මීය බැදීමක් තිබුණා."

සිරකුටියේදී නිර්මාණකරණයට යොමුවූ සම්මානනීය ලේඛකයා
අතුරුදහන් වූවෝ- 'අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්'
බීබීසී සිංහල සේවය සමග අතීතානුස්මරණයක යෙදුනු විශේෂාංග චිත්‍රපට ශිල්පිනියක වන මාගරට් හෙන්රි, සිවානන්දන් හඳුන්වා දුන්නේ 1978 තරම් ඈත යුගයේ පටන් තමන්ට ගුරුහරුකම් දෙමින් මග පෙන්වූ පුද්ගලයෙකු (mentor) වශයෙනි.

ඉතාමත් දක්ෂ වාමාංශික චින්තකයෙකු වූ සිවානන්දන් ඉතා විශාල පිරිසකට බුද්ධිමත් චින්තනය සඳහා මග පෙන්වූ ගුරුවරයෙකු වූ බව ද මාගරට් හෙන්රි කෘතවේදීව සිහිපත් කරන්නීය.

එමෙන්ම ඉතාමත්ම තියුණු චින්තන ශක්තියකින් හෙබි ඔහු අති දක්ෂ දේශපාලන විශ්ලේෂකයෙකු වූ බවත් ඇය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

1978 දී සිවානන්දන් විසින් නිර්මාණය කරන ලද "Black's Britannia" විශේෂාංග චිත්‍රපටයට ද දායක වී ඇති මාගරට් පවසන පරිදි, සිය සමීපයන් සමග සංවාදයේ නිරතවන අතරවාරයේ රවීන්ද්‍රනාත් තාගෝර්, ටීඑස් එලියට් සහ හෆීස් වැනි ලෝක පූජිත කවියන්ගේ කවි පදයක්, දෙකක් උපුටා දැක්වීමට ද ඔහු බුහුටි විය.

sivanadan 1

 

කෙසේ වුවත් පූර්ණිමා කරුණාකඩාචරන් පවසන පරිදී තමන් මග පෙන්වන්නෙකු (mentor) ලෙසින් විග්‍රහ කිරීම ගැන "සිවා" ගේ මනාපයක් නොවීය.

"ඔහු කිවුවේ මම 'mentor' නෙමෙයි 'exemplar' (ආදර්ශමත්) කියල."

සියලු ජාති, ආගම් සහ කුල ප්‍රජාවන්ට අයත් මිනිසුන් හඳුනාගැනීමේ අපූරු හැකියාවක් ඔහු සතුව තිබුණු බව පවසන පූර්ණිමා සැබැවින්ම ජාතිවාදයට සහ පන්ති භේදයට එරෙහිව ඔහු ගෙන ගිය සටන කිසිසේත්ම එක් ජන කොටසක් වෙනුවෙන් පමණක් කෙරුණු අරගලයක් නොවූ බව සිහිපත් කරන්නීය.

"ඔහුගේ දර්ශනය වෙලා තිබුණේ දේශපාලන වශයෙන් පීඩාවට පත් ජන කොටස් එක්සේසත් කිරීම."

ඔහු සමීපව ඇසුරු කළ පිරිස් මෙන්ම ඔහුගේ ලේඛන පරිශීලනය කළ ලොව පුරා වෙසෙන බොහෝ දෙනා ද දිවියෙන් සමුගත් මානව හිතවාදියාට සිය ප්‍රණාමය පළ කරමින් සිටිති.

sivanadan 2

 

ෆේස්බුක් ජාලයේ සටහනක් තබන ලේඛක කපිල එම් ගමගේ, සිවානන්දන් ලියූ පළමු නවකතාව වන 'When Memory Dies' ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීම මෑතකදී හසිත අබේවර්ධන විසින් අරඹනු ලැබ ඇති බව සඳහන් කරයි.

එය, එම කෘතිය සිංහලට නැගීමට සිවානන්දන් ලේඛකයා කලක් මුළුල්ලේ දැරූ උත්සාහය, ජීවිතයෙන් ඔහු සමුගෙන යාමෙන් පසුව හෝ මල් ඵල ගැන්වීමක් බව ඔහුගේ සමීපතමයන්ගේ අදහස වී තිබේ.

"වාමවාදී චින්තකයෙක් ලෙස ප්‍රකට සිවානන්දන් විශේෂයෙන් ජාතිය හා වර්ණය පදනම් කරගත් ගැටුම් පිළිබඳ සංවේදී බුද්ධිමතෙකු ලෙසින් ඒ පිළිබඳ ලියූ ලේඛණ ප්‍රමාණය අතිවිශාලයි," යනුවෙන් ද කපිල එම් ගමගේ, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන මුහුණු පොතේ තැබූ සටහනකට ප්‍රතිචාර වශයෙන් මුහුණු පොතේ සටහන් කොට තිබේ.

'When Memory Dies' ලේඛකයෙකුගේ කුළුඳුල් නවකතාවට හිමිවෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ලේඛකයන්ගේසම්මානයෙන් ද පිදුම් ලැබීය.

2000 වසරේ දී ප්‍රකාශයට පත් කෙරුණු 'Where the Dance is' ඔහුගේ එකම කෙටිකතා එකතුවය.

BBC සේවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න