ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීමේ වරද : පැෆරල් පෙන්වාදෙයි !

ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීමේ වරද : පැෆරල් පෙන්වාදෙයි !

දේශපාලඥයින් විසින් ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම තුළින් ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අභියෝගයට ලක්වන බව පැෆරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා සිටින්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ගැටලු ඇත්නම් ඒවා බුද්ධිමය සංවාද තුළින් විසදාගත යුතු බවය. නැතහොත් ඒ තුළින් රටේ ප්‍රධාන ස්වාධීන ආයතන පිළිබද ජනතාව තබා ඇති විශ්වාසය පලුදු විය හැකි බවද ඔහු පවසයි.

මේ සම්බන්ධව පැෆරල් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

“පසුගිය සතිය තුළ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් දැඩි විවේචන එල්ල කරනු දක්නට ලැබිණි.

ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කොමිෂන් සභාවල කේන්ද්‍රීය ආයතනය වන අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති ප්‍රමුඛතම ආයතන ව්‍යූහය ද වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ගරු අග්‍රවිනිශ්චයකාරතුමන්, නීතිපති තුමන්, පොලිස්පතිතුමන් ආදී ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් හා ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම් ව්‍යවස්ථාදායක සභාව හරහා සිදුවන බැවින් ව්‍යවස්ථාදායක සභාව විවේචනයට ලක්වීම සියලු කොමිෂන් සභා විවේචනයට ලක්වීමකි.

ඒවායේ ස්වාධීන භාවය ද අභියෝගයට ලක්වීමකි. එය රටක ස්වාධීන ආයතන පිළිබඳව ජනතාව තුළ තිබිය යුතු විශ්වාසය පළුදු කිරීමක් වන අතර එය දීර්ඝකාලීන ලෙස රටක යහපැවැත්මට බරපතල ලෙස හානි කරන්නකි.

ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් තිදෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් නොවන තිදෙනෙකුගෙන් සමන්විත වන අතර විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ඉල්ලා අස්වීමෙන් එහි නියෝජිත පුරප්පාඩුවක් පවතී.

මේ අනුව පැහැදිලි වන්නේ ව්‍යවස්ථාදායක සභාව දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන්ගෙන් සමන්විත වන අතර එහි යම් ගැටළුවක් තිබේ නම් එම ගැටළු සඳහා සියලු සාමාජිකයන් සාමූහිකව වගකිව යුතු බවය.

එබැවින් අප සියළුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාදායක සභාවේ යම් ගැටළුවක් වේ නම් ප්‍රසිද්ධියේ විවේචනය නොකර අභ්‍යන්තරිකව විසඳා ගන්නා ලෙසත්, දේශපාලන බල ව්‍යප්තින් සඳහා රටේ ස්වාධීනව පැවැතිය යුතු ආයතන භාවිතයට ගැනීමෙන් වලකින ලෙසත් ය.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න