Language Switcher

V2025

කබ්රාල්ගේ ආර්ථික දැනුමට වඩා මංගලගේ නොදැනුම හොඳයි !

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යනු ණයදීමේ ක්‍රමවේදයකට ලස්සන ආකර්ෂණීය නම් ටිකක් දැමීම පමණක් බවත් මේවා කළ යුත්තේ බැංකුවල වාණිජ් අංශයන් මිස, රටේ මුදල් ඇමැතිවරයා නොවන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර මංගල සමරවීරට අප රටේ ආර්ථිකයේ ප්‍රශ්න පිළිබඳව කිසිම අවබෝධයක් නැති බවද ඔහු පැවසීය.

රාජපක්ෂ කඳවුරේ ආර්ථික දැක්ම !

මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව අප වෙත ප්‍රතිචාර දැක්වූ ආර්ථික විද්වතෙකු පෙන්වා දුන්නේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන පොළී ණය යෝජනා ක්‍රමය සම්බන්ධව කබ්රාල් මහතා සිදුකල විවේචනය හරහා රාජපක්ෂ කඳවුරේ ආර්ථික දර්ශනය ගැන අවබෝධයක් ලැබිය හැකි බවය. ඒ බව ඔහු තවදුරටත් මෙසේ පැහැදිලි කර සිටියේය.

"එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය පොළී ක්‍රමය හරහා ඉතාම අඩු පොළියට එනම්, 6% සහ මුළුමනින්ම පොළී අය නොකරන ආකාරයේ සහන ලැබෙනවා. ඒ වගේම ඇපකරුවන් අවශ්‍ය නෑ. දේපල ඇපයට තියන්න අවශ්‍ය නෑ. හොඳ ව්‍යාපාරික සැලැස්මක් විතරයි අවශ්‍ය. මේ වෙනකොට අපි දන්නවා 30000 කට අධික ප්‍රමාණයක් එයින් ණය ලබාගෙන තියනවා.

සහන පොළියට ණය දීමට විරුද්ධ ඇයි ?

මොකක්ද මෙහි තිබෙන වරද? කිසිම දෙයක් නැති මනුස්සයෙකුට අවස්ථාව හිමිවෙනවා රජයේ අනුග්‍රහය ඇතිව ව්‍යවසායකයකු බවට පත්වෙන්න. එය වරදක්ද? අපි නම් කියන්නේ රටේ ජනතාව යැපෙන්නන්, බැංකු දිහා බලාගෙන හූල්ලන පිරිස වෙනුවට බැංකුවෙන් ණයක් අරගෙන ව්‍යවසායකයකු වීම වරදක් නෙවෙයි. නව ආදායම් උත්පාදනය වන ව්‍යවසායකයින් බිහිකිරීම ඉතාම කාලෝචිත ආර්ථික උපාය මාර්ගයක්. ඒ නිසාද දන්නේ නෑ මංගල ඇමතිතුමාව විවේචනය කරන්නේ.

සදාකාලික වහල්භාවයක් නඩත්තු කරන්නද ඉල්ලන්නේ ?

ටිකක් හිතලා බලන්න, ජනතාවට පාන් ගෙඩියේ මිල කියලා, සීනි කිලෝවක මිල කියලා රවට්ටනවා වෙනුවට ඔවුන්ට තමන්ගේම ව්‍යාපාරයක් තුල දියුණුවේ දොරටු හැරීම වරදක්ද? මේ කියන්නේ මිනිස්සු හැමදාම රජයෙන් සහ දේශපාලකයන්ගෙන් ඉල්ලන් කන වහල්ලු වගේ තියා ගන්න ඕන කියන එකද? ඒ වහල් බව නඩත්තු කිරීම වෙනුවෙන් නොවේද මේ කබ්රාල් මහතා පෙනී සිටින්නේ.

කබ්රාල්ගේ දැනුම සහ මංගලගේ නොදැනුම !

කබ්රාල් මහත්තයා කියන විදිහට ඒ වැඩේ බැංකු වල වාණිජ අංශ වෙත සීමා කලොත් ණය ලැබෙන්නේ ඉහල පොළියට. ඒත් දැඩි කොන්දේසි රැසක් යටතේ . ඒ නිසා තමයි මිනිස්සු හුඟක් ක්ෂුද්‍ර මුල්‍ය ආයතන වෙත යොමුවුණේ. ඒ අය අද එල්ලිලා මැරෙන්නේ. ලිංගික හිංසනයන්ට පවා ලක්වෙනවා. මේ මිනිස්සුන්ව ආරක්ෂා කිරීම ආර්ථික විද්‍යාව නොදැනීම කියනවා නම් කබ්රාල් මහතාගේ අමානුෂික දැනුමට වඩා ඒ නොදැනීම හොඳ බවයි මගේ විශ්වාසය.

අනිත් අතට රටේ ව්‍යවසායකත්වය සංවර්ධනය වුණාම නේද නිෂ්පාදනය වැඩි වෙන්නේ, මිල පහලට ගන්න හැකි වෙන්නේ, ආනයන සීමා කර අපනයනය නංවන්න හැකි වෙන්නේ, රටේ රැකියා බිහිවෙන්නේ, ඒ නිසා හරි නම් ආණ්ඩුව මීටත් වඩා ව්‍යවසායකත්වය නංවන්න මැදිහත් විය යුතුයි. දේශපාලන වාසි ගන්න ජනතාව රවටන ප්‍රකාශ වෙනුවට හරි නම් උද්ඝෝෂණය කල යුතුව තිබෙන්නේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තවත් ප්‍රවර්ධනය කල යුතු බවටයි. තවත් පුළුල් කල යුතු බවටයි.

ඒ වගේම රටේ මිනිස්සු මේ කබ්රාල් පන්නයේ ඊනියා විද්වතුන් කරන ප්‍රකාශ ගැන හැගීම්බර නොවී බුද්ධියෙන් හිතන්න ඕන. නැත්නම් තම තමන් විතරක් නෙවෙයි, රටත් ඉවර වෙනවා.