Language Switcher

V2025

ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරන්න තිබෙන දුෂ්කරතා මගහරවා දෙන්න ඇමති රවී සූදානම් !

"මමත් ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් කැමතියි. අධ්‍යාපන කටයුතු සමග මට ක්‍රීඩාවේ නියැලෙන්න, ඉදිරියට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ ඉතින් අපි මේ වගේ දක්ෂ දරුවන්ට ඒ අවස්ථාව ලබා දෙන්න ඕන. වසර 30ක් පුරාවට අපි කුරිරු යුද්ධයකට මුහුණ දුන්නා. දැන් ඒ සියල්ල අවසන් වෙලා තිබෙනවා. මම හිතන විදියට මෙවැනි කටයුතු සිදු කිරීම තුළින්, මේ රටේ ජාතීන් අතර අන්තර් සහයෝගය තහවුරු වී, රට තුළ සාමකාමී වාතාවරණයක් ඇතිකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. වසර දෙකක් වෙනුවෙන් මොවුන් නියෝජනය කරමින්, මෙම ශිෂ්‍යන්ගේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය සැපයීමට මම තීරණය කළා. ඒ අනුව මාසිකව මෙම දරුවන් වෙත මූල්‍යමය වශයෙන් සහයෝගය සපයනවා. මෙම කටයුත්ත අමාත්‍යාංශ මට්ටමෙන් නොවෙයි. මම පුද්ගලික වශයෙන් සිදු කරන දෙයක් " යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ, යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා පෙන්නුම් කරන, මූල්‍ය අපහසුතාවන් ඇති පාසල් ශිෂ්‍යයින් දෙදෙනෙකු වෙනුවෙන් මූල්‍ය අනුග්‍රාහකත්වය සැපයීම වෙනුවෙන් පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අවස්ථාවකට එක් වෙමිනි.

මෙම ද්‍රවිඩ ජාතික දරුවන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන දක්ෂතා දක්වන දරුවන් දෙදෙනෙකු වන අතර, මොවුන්ගේ ආර්ථික අපහසුතා හේතුවෙන් ඔවුන්ට ක්‍රීඩාව තුළින් ඉදිරියට ඒමේ අවස්ථා ගිලිහී ගොස් තිබේ. මෙම දරුවන්ට මූල්‍යමය වශයෙන් උපකාර ඉල්ලා පලකළ පුවත්පත් දැන්වීමක් දැකීමෙන් අමාත්‍ය කරුණානායක මහතා මෙම ශිෂ්‍යයින් වෙනුවෙන් අනුග්‍රහය දැක්විමට ඉදිරිපත්වී තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"මේ ශිෂ්‍යයින් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට සහජ දක්ෂතා දක්වන දරුවෝ දෙදෙනෙක්. මේ ශිෂ්‍යයන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ජාතික මට්ටමෙන් ඉදිරියට ඒමේ හැකියාව ඇති නමුත් මේ දෙදෙනාට නොයෙක් අභියෝග තිබෙනවා. ඒ අතරින් මූල්‍ය දුෂ්කරතා විශේෂයි. මේ දක්ෂයන් ජාතික මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරන්න ඔවුන්ට තිබෙන දුෂ්කරතා මගහරවා දෙන්න පුළුවන්නම් වැදගත් කියලා දැන්වීමක් දැක්කා.. ඒ දැන්විම දැකලා තමයි මම තීරණය කළේ මේ දරුවන්ට උදව් කරන්න" යැයි පැවසීය.

අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාවේදී ශිෂ්‍යයන් වෙත චෙක් පත් ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිනි.

03 4