ශ්‍රීලංකන් ගුවන් සමාගම 2017 වසර තුළ කෝටි ගණනින් ලැබූ පාඩුවට ඉංජිනේරු අංශයද වගකිව යුතු බව වාර්තා වෙයි.
අදාළ අංශය EASA තත්ත්ව සහතිකය අහිමිකර ගැනීම සහ එම බලපත්‍රය නැවත ලබාගැනීම සඳහා දරන ලද මුළු වියදම රුපියල් මිලියන 400 ඉක්මවා ඇති නමුත් එය ලබාගැනීමට ආයතනයට නිසි ක්‍රමවේදයක් නොමැති වීමෙන් තවත් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවද එම වාර්තා සඳහන් කරයි.
මෙම EASA ගැටළුව නිසා ගුවන් යානා නඩත්තු කටයුතු සඳහා එක් යානයකට ඇමරිකානු ඩොලර් 95,000ක් පමණ වැය කර ඉන්දුනීසියාව සහ සිංගප්පුරුව වැනි රටවලට යොමුකිරීමට සිදුවූ බවත් එය සිදුවුයේ කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් යටතේ නොවන බවද වාර්තා වෙයි.
තවද ශ්‍රීලංකන් සමාගම සතු ඉතා පැරණි 4R-ALA/ 4R-ALB/ 4R-ALC යන ගුවන්යානා (වසර 15ක් පැරණි) වල කල්බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම හේතුවෙන්ද දැඩි අර්බුදයක් උද්ගතව ඇති බවද වාර්තා වෙයි. එසේම 4R-ACD යානය මාස ගණනක් පුරා යාත්‍රාංගණය තුළ නඩත්තු වෙමින් ඇති අතර එම පාඩුවද රුපියල් කෝටි 5කට අධික වූ බවද දැනගන්නට ඇති අතර තවද අධික මිල ගණන් වලට අමතර කොටස් මිලදී ගැනීම නිසා ආයතනය නැවත ගොඩගැනීමට නොහැකි තත්වයකට පත්ව තිබෙන බවද වාර්තා වී ඇත.
ඊට අමතරව ගුවන්යානා බුමුතුරුණු මීටරයක් මිලදී ගනු ලබන්නේ රුපියල් 3,850/-ක් වැනි මිලකට බවත් වසරකට රුපියල් කෝටි 05ක පමණ වූ කල්ඉකුත්ව ඇති භාණ්ඩවල පාඩුව අවම කිරීමටද ඉංජිනේරු කළමනාකරුවන් කටයුතු කර නැති බවත් වාර්තා වන අතර මේ අයුරින් දිනපතා කෝටි ගණනින් ආයතනයට සිදුවන පාඩු පිළිබඳ වර්තමාන ඉංජිනේරු ප්‍රධානියාද කිසිදු ගැටළුවකින් තොරව කටයුතු කරන බවද දැනගන්නට ඇත.
එසේම අදාළ වැරදි පෙන්වා දෙන පුද්ගලයින් වෙනත් අංශවලට මාරු කර හරින්නේ ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියාගේද ආශීර්වාදය සහිතව බව පෙන්වාදෙන අප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එක් එක් නිලධාරීන්ට රුචි අයුරින් කටයුතු කළ හොත් සිදුවන්නේ අවසානයේ ගුවන් සේවය වලපල්ලට යාම තව තවත් ඉක්මන් වනු ඇති බවය.

