Language Switcher

V2025

පළිගන්නවා නම් මගෙන් පළිගන්න : ජාතිවාදය නම් අවුස්සන්න එපා - ඇමති රිෂාඩ්

දේශපාලන වශයෙන් තරහක් තිබෙනවා නම් තමන්ගෙන් පළිගන්නා ලෙසත් මේ රටේ අතීතයේ ඉදලා සහජීවනයෙන් කටයුතු කරපු සිංහල මුස්ලිම් ජනයාට නිදහසේ ඉන්න ඉඩදෙන ලෙසත් තමන් ජාතිවාදය අවුලවන්න හදන පිරිසෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ අල් හික්මා විද්‍යාලයේ ඊයේ(20) පැවැති උත්සවයකදීය.

පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වෙමින් වෙමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,

පුත්තලමට කොළඹ කුණු ගෙන එන එකට පුත්තලමේ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. අපි කවුරුවත් කැමති නැහැ වෙන කාගෙවත් කුණු ගන්න. මේ කසල ගැටළුව ගැන පුත්තලමේ ජනතාව කියන්න පුළුවන් හැමෝටම කිවුවා. උත්තරයක් නැතිම තැන තමයි ඔවුන් කොළඹට ඇවිත් උද්ඝෝෂණයක් කළේ.

පසුගිය වසරේ (2018) අවසාන මාස කිහිපයේ රටතුළ පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියේදී අපි ගත්තෙ හරි පැත්ත. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. එදා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අප අද පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව වෙලාවෙදිත් පුත්තලමේ අහිංසක ජනතාවගේ පැත්ත ගන්නවා. පුත්තලමේ ජනතාවගේ කසල ගැටලුව ගැන පෙනී ඉන්න නිසා මට විල්පත්තුව කපනවා කියල චෝදනා කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය රැල්ලක් ක්‍රියාත්මක වෙනවා.මේවා හසුරවන යම් යම් අදිසි හස්ත ක්‍රියාත්මක වන බව අපට පේනවා.රජය ඇතුලෙ අමාත්‍යවරයෙකු ලෙස සිටියත් ජනතාවට අසාධාරණයක් වෙනවානම් අපි එයට දැඩි ලෙස විරුද්ධ වෙනවා.

මේ විදියට සමාජ මාධ්‍ය හරහා වැරදි පූර්වාදර්ශ සපයපු නිසා තමයි පසුගිය කාලයේ නුවර තෙල්දෙනිය , ගිංතොට වගේ ප්‍රදේශ වල ගැටුම් ඇතිවුනේ.

මේ විදියට විල්පත්තුව ප්‍රශ්නයක් කරලියට ගෙනවිත් මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව බිදවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලයි අපිට දැනෙන්නේ.