පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැඳවීමට නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවකු සිටි බවට වීරවංශ මහතා චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ රුපියල් කෝටි 7 1/2 කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ගේ අත්සනින් යුතුව නිකුත් කළ චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.
2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම් වලින් උපයාගත නොහැකි රුපියල් 744,80,017/- මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස් වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති වාර්තා වල නිවරද්‍යභාවය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය හෙයින් ඒ සදහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බලමින් ඊට අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ පෙනී සිටියේය.

