විදුලිබල ලොක්කන්ට කරන්ට් වදින ලකුණු !

 විදුලිබල ලොක්කන්ට කරන්ට් වදින ලකුණු !

විදුලිබල මණ්ඩලයේ, අමාත්‍යාංශයේ සහ මහජන උපයෝගිතා කොමිසමේ විදුලි බල මාෆියාවට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර නිලධාරීන් කිහිප දෙනකු වෙනුවට වෙනත් අය පත් කිරීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු වී තිබේ. 

එසේම විදුලි මාෆියාව මඟින් සිදු කළ මහා පරිමාණ වංචා සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ පැවැත්වේ. ජනතාවට අඛණ්ඩව විදුලි බලය සැපයීමට නොහැකි වී ඇත්තේ විදුලිය සම්බන්ධ ඉංජිනේරුවන්ගේ හා නිලධාරීන්ගේ නොසැලකිල්ල හා තමන්ට වාසි සහගත කොමිස් කෙරෙහි අවධානය යොමු කිරීම නිසා බව මේ වන විට හෙළිව ඇත.

විදුලි අර්බුදය පිළිබඳ සොයා බැලීමට මේ වන විටත් රවි කරුණානායක, කබීර් හෂීම් හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබේ. 

පසුගිය වසර 4ක කාලය තුළ විදුලි බලය වැඩිදියුණු කිරීම හෝ හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධව කිසිදු ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් සකස් කිරීමට මණ්ඩලයේ හෝ අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඉංජිනේරුවන් කටයුතු නොකිරීම නිසා විදුලි බල අර්බුදයක් හටගෙන ඇති බව මේ වන විට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මණ්ඩලයට හා මහජන උපයෝගිතා කොමිසමට දැඩි සේ දොස් පවරා ඇත.

එසේම ජපානයෙන්, චීනයෙන් හා ඉන්දියාවෙන් අපට ලැබුණු එල්එන්ජී බලාගාර ස්ථාපිත කිරීමටද නිලධාරීන් නිසි පියවර නොගැනීම නිසා මේ තත්ත්වය වැඩිදුරටත් උග්‍ර අතට පත්ව ඇති බවත්, එහි සපූර්ණ වගකීම නිලධාරීන් බාරගත යුතු බවත් අගමැතිවරයා පසුගියදා පෙන්වා දුන්නේය.

හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගැනීම පිණිස විදුලි උත්පාදන යන්ත්‍ර 50ක් 2018 වසරේ දෙසැම්බර් 18 දා මෙරටට ගෙන්වන ලද අතර, එයින් 20ක් මතුගම හා තවත් 20ක් කොළොන්නාවේද, ඉතිරි 10 තුල්හිරියේද ස්ථාපිත කළ නමුත් මේ වන තෙක් මතුගම විදුලි උත්පාදන යන්ත්‍ර පරීක්ෂණ මට්ටමින් හෝ ක්‍රියාත්මක කර නැත. 

එසේම කොළොන්නාවේ එක් අදියරක බලාගාර 10ම ක්‍රියාත්මක කර නැති අතර, ඉතිරි 10 එංජින් තෙල් අවසන් වීම හේතුවෙන් ක්‍රියාත්මක කර නැත. තුල්හිරියේ විදුලි උත්පාදන යන්ත්‍රද ක්‍රියාත්මක කර නැත. සමස්ත රටේ විදුලි අවශ්‍යතාව මෙ.වො. 2600ක් වන අතර, මේ තත්ත්වය විදුලි උත්පාදන යන්ත්‍රද උපයෝගි කරගෙන ඉතා පහසුවෙන් ලබා දිය හැකි මට්ටමක තිබුණද නිලධාරීන් හා ඉංජිනේරුවන් අතර ඇති මේ කඹ ඇදිල්ල නිසා විදුලි බල අර්බුදය ඉතා උග්‍ර අතට හැරීමට ඉඩ ඇතැයිද වෘත්තීය සමිති පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න