ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් තමන් සමඟ ඕනෑම පක්ෂයකට එක්වීමට සූදානමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.
මොණරාගල පැවති ජනහමුවකින් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර වෙල්ලස්සට වැඩ කරන පෙරමුණකට තමා එක් වන බවත්, නමුත් එය තවමත් තීරණය කර නොමැති බවත් පවසා ඇත.
තමන් පසුගිය මැතිවරණයේදී “අප්පච්චි මළා කියලා“ තමන් ඡන්ද 38000 ක් ලබා ගත් බවත්, එයින් 15,000 ක් පමණ තනි මනාප වන බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා සමඟ සියයට 80-90 ක ප්‍රමාණයක් එක්ව සිටින බව ද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස තමා යන තැනකට යෑමට සුදානමින් සිටින බවත්, පොහොට්ටුවේ අයත් දැන් දැන් එකතු වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.
තමාගේ දේශපාලන ඉතිහාසයේ ස්වර්ණමය අවධිය මෙය බවත්, තමා ගත් තීරණවල නිවැරදි භාවය අද වන විට ජනතාව විසින් තහවුරු කරමින් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර ඇත.

