ලංකා ගමනාගමන මණ්ඩලයට අදාළ නොවන තනතුරක් නිර්මාණය කරමින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා ගබා සිටින හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව මැයි මස 04 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරන ලදී.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද (02) දින කැඳවනු ලැබූ නඩුවාරයේදීය.
එහිදී අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙහි විත්තිකරුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව නඩුව මැයි මස 4 වනදා නඩුව යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින විත්තිකරුට එරෙහිව සංශෝධන පැමිණිල්ලක් ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළේය.
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොතිබූ නියෝජ්‍ය සභාපති නම් තනතුරක් අලුතින් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

