ජිනීවා ගැන බොරු කතා එපා : මංගලගෙන් විශේෂ නිවේදනයක් !

ජිනීවා ගැන බොරු කතා එපා : මංගලගෙන් විශේෂ නිවේදනයක් !

ශ්‍රී ලංකාව සාමය හා සංහිඳියාව ළඟාකර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගයන්ට විරුද්ධවන පිරිසක් සිටින බවත් ඔවුන් බලය ලබාගැනීම සඳහා වෛරය හා භීතිය වැපිරීමේ අරමුණින් කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

එළැඹෙන මැතිවරණ සමය හමුවේ මානව අයිතිවාසිකම් සමුළුව ගැන තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් මහජනතාව තුළ බිය ඇති කරන ව්‍යාජ කතා නිර්මාණය නොකරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ය.

ජිනීවා “යෝජනාවලිය පිළිබඳ සත්‍ය” යන ශීර්ෂයෙන් යුතු එම නිවේදනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත්කර ඇත.

දේශපාලන මැතිවරණ සමය හමුවේ තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් සමහරු මානව අයිතිවාසිකම් සැසිවාරයේ දී කැපවීමෙන් වැඩකළ අපගේ රාජ්‍ය සේවකයන් වෙත ව්‍යාජ ප්‍රහාර එල්ල කිරීමටත්, මහජනතාව නොමඟ යැවීමට ව්‍යාජ වාර්තා නිකුත් කිරීමට පටන්ගෙන ඇතැයි එම නිවේදනයේ දක්වන අමාත්‍යවරයා 2015 ඔක්තෝබර් 01 වැනිදා ජිනීවා හිදී 30/1යෝජනාව සම්මත කරගැනීමට කටයුතු කළ තැනැත්තා වශයෙන් එවකට විදේශ ඇමැතිවරයාව සිටි තමාට මේ සම්බන්ධව පිළිතුරු දීමට තමන්ට සිදු වන බවද අවධාරණය කර ඇත.

එසේම 'මානව හිමිකම් කොමිසමේ ඉල්ලීම පරිදි මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙලා බැචෙලට් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළ මානව හිමිකම් පිළිබඳ 40 වැනි සැසි වාරයට ගිය ඇතැම් නියෝජිතයන් ගෙවුණු සති කිහිපයේ පුවත්පත් සිරස්තල අතර, විවිධ වාද විවාදවල සත්‍ය කරුණු විකෘතිකර, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් මෙන්ම තම තමන්ටම සුබපතාගනිමින් කටයුතු කර ඇති බවත් මානව හිමිකම් සමුළුවට යාමට සිටි නියම නියෝජිතයන් පිරිස වෙනස් කළ බවට ඇතැම් චෝදනා නැඟී තිබුණු අතර ඒවා බොහොමයක් මහජනතාව නොමඟ යැවීමට නිකුත් කර ඇති ව්‍යාජ ඒවා බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අනිත් ප්‍රහාරය එල්ල වන්නේ කැපවීමෙන් වැඩකරන අපගේ රාජ්‍ය සේවකයන් වෙත බවත් අට එක්සත් ජාතීන්ගේ ජිනීවා තානාපති වැනි ‍විශිෂ්ට සේවයක් ඉටු කරන තානාපති නිලධාරීන්ගේ සංවිධාන ශක්තිය නොවන්නට මෙවර ජිනීවා සාකච්ඡාවලින් මෙතරම් වාසිදායක තත්ත්වයක් අත්කර ගැනීමට මෙරටට නොහැකිවීමට ඉඩතිබු බවද සඳහන් කරයි.

එසේම එම තානාපති නිලධාරීන් නිසි උපදෙස්වලට අනුකූලවම තමන්ගේ ගුණ වර්ණනා තමන් විසින්ම සිදු කරගන්නේ නැතිව කටයුතු කළ ආකාරය විශිෂ්ට බවත් වත්මන් තානාපතිවරුන්ට රට හෝ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සැඟවුණු න්‍යාය පත්‍ර නොතිබුණු බවද අමාත්‍යවරයා සිය නිවේදනය හරහා අවධාරණය කර සිටියි.

40 වැනි මානව අයිතිවාසිකම් සැසිවාරය ශ්‍රී ලාංකික දූත පිරිස පරිණත, දක්ෂ, යහපත් සහ කරුණාවන්ත පිරිසක් බවට ලොවට විදහා පෑ අවස්ථාවක් බව තම අදහස බවත් ස්වාධීන රාජ්‍යයක් ලෙස ගෝලීය සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය සහ අප රට ගැන ඇති ගෝලීය පිළිගැනීම මෙහිදී අප අත්කරගත් වැදගත්ම ජයග්‍රහණය වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ රටේ පැවැති කුරිරු යුද්ධය අවසන් වී වසර දහයක් ගතවන අද දවසේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය පවතින ස්ථානය පෙන්නුම් කිරීමට මෙය ඉතාම හොඳ අවස්ථාවක් බවද අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ දැක්වේ.

තවද "ඒකාධිපති වියරුව පාර්ලිමේන්තුවෙන්, ජනතාව විසින් සහ අධිකරණය විසින් පරාජය කළ අවස්ථාවක 40 වැනි මානව අයිතිවාසිකම් සැසිවාරය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට යන අසීරු ගමන ගැන ලොවට කීමට ලැබුණු හොඳම අවස්ථාවක්" බවද එහි සඳහන්.

එසේම මානව හිමිකම් යෝජනාවලියේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් පිළිබඳ තීරණය පෙබරවාරි මාසයේ දී ගනු ලැබු බව පෙන්වා දෙන ඇමැතිවරයා එසේ සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ජා කිරීමෙන් අනතුරුව බවද එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
එම තීරණය සංහිඳියා යාන්ත්‍රණය සම්බන්ධීකරණ මහලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා හරහා ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අසීස් මහතා වෙත දැනුම් දුන් බව අමාත්‍යවරයා සිය නිවේදනයේ දක්වා ඇත.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාවගෙන් කොන්වීමට ගිය ගමන 2015 වසරේදී අවසන් කළ බවට සිහිපත් කර දෙන එවක විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර අමාත්‍යවරයා , වගවීම හා සංහිඳියා න්‍යාය පත්‍රය අතටගත් වත්මන් රජය ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබු බව ත් නිවේදනයෙන් අවධාරණය කර ඇත.

අවසානයේ දී ජයග්‍රහණය කරනු ලබන්නේ බොරුව හා අතිශෝක්තිය නොවන බවට විශ්වාසය පළ කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර යළි රට තුළ යුද්ධයක් ඇතිවීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබා ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීම වත්මන් රජයේ උත්සාහය බව ද වැඩි දුරටත් නිවේදනය කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න