අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 11 සහ 12 යන දින දෙක රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන විසින් කරන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී ඊයේ (02) ප්‍රතික්ෂේප වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම යෝජනාවට ජනාධිපති සිරිසේන සහ රාජිත සේනාරත්න,පාඨලී චමිපික රණවක ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකුත් දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
වජිර අබේවර්ධන අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ අලුත් අවුරුදු නිවාඩු සති අන්තයේ යෙදී ඇති බැවින් ලබන 11,12 සහ 15 යන දිනයන් තුනම රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කියාය.
අප්‍රේල් 15 වනදා පමණක් රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය වී ඇත්තේ මේ ඉහත යෝජනාවට විරෝධය දැක්වීමෙන් පසුවය.
මේ සම්බන්ධව අප කළ විමසීමේදී ආණ්ඩුවේ ප්‍රකාශකයකු සදහන් කර සිටියේ ලක්ෂ 16 ක් වන රජයේ සේවකයින්ට පිට පිට දින දෙකක් රජයේ නිවාඩු දීමෙන් එකී සේවා පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇති වන බැවින් 15 වනදා පමණක් රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය වූ බවය.

