ශ්‍රී ලංකාවේ පළමු වරට පාවෙන බලාගාරයක් !

ශ්‍රී ලංකාවේ පළමු වරට පාවෙන බලාගාරයක් !

මීට වසර 30 කට පෙර තමයි කැනේඩියානු රජයේ ආධාර මත මාදුරුඔය බලාගාරය ඉදිකළේ. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත මාදුරුඔය පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර මෙම පාවෙන විදුලි බලාගාරය ඉදිකිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. 2019 නොවැම්බර් මාසය වනවිට මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ වසරේ නොවැම්බර් සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 100 ක් එක් කිරීමේ හැකියාව අපට ලැබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවැනි පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකරන්න කටයුතු කරන්නේ. අපේ අතිගරු ජනාධිපතිතුමාගේ දූරදර්ශි නායකත්වය තුළින් තමයි මෙම බලාගාරය ඉදිකරන්න හැකිවුණේ. කැනේඩියානු රජයටත් අපි මේ ගැන ස්තුතිවන්ත වියයුතුයි. අපේ විදුලිබල අර්බුදය විසදීමේ නිවැරදි මාර්ගයට ගෙනයන්න සහ අවම මිලක් යටතේ විදුලි උත්පාදන කටයුතු සිදු කරන්න අපිත් සමග එකතු වෙන්න කියලා මම සෑම දෙනාටම විවෘත ආරාධනයක් කරනවා"යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සව අවස්ථාවකින් අනතුරුවය.

කැනේඩියානු රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මාදුරුඔය ජලාශයේ මෙගාවොට් 100 ක පාවෙන සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම සදහාවන ගිවිසුම් අත්සන් තැබීම මෙහිදී සිදුවිය.

ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවෙදී කැනේඩියානු රජය නියෝජනය කරමින් කැනේඩියන් කෝපරේශන් සමාගමේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා Yvonne Chinමහත්මියත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ අදාළ ගිවිසුමට අත්සන් තබන ලදී.

මහවැලි ආර්ථික කලාපයන්හි පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සදහා යෝජනා කැදවීම යටතේ ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩලය සංදේශය සලකා බලමින්, 2017.02.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් මෙම පාවෙන සූර්ය බලාගාරය ඉදිකිරීම සදහා අනුමැතිය ලැබී තිබේ. මේ වනතෙක් ශ්‍රී ලංකාව තුළ මෙවැනි පාවෙන සූර්යබලාගාර ඉදිවී නොමැති අතර මේ වනතෙක් විදුලිය ගබඩා කිරීමේ තාක්ෂණය ( Battery Storage ) යොදාගෙන ක්‍රියාකරන සූර්ය විදුලි බලාගාර දිකිරීමක්ද සිදුවී නොමැත. කැනඩා රජයට අයත් Canadian Commercial Corporation සහ Canadian Solar සමාගම විසින් කර ඇති යෝජනාවට අනුව බැටරි තාක්ෂණයට අනුව විදුලි ගබඩාකර, රාත්‍රී කාලයේ උපරිම විදුලි ඉල්ලුමක් ඇති කාලසීමාවේදී ගබඩා කර ඇති විදුලිය යොදාගත හැකි බැවින් දැනට රාත්‍රී කාලයේදී සහ සවස් කාලයේදී අධික ඉල්ලුමක් ඇති අවස්ථාවල විදුලිය ලබාගැනීම සදහා මිල අධික ඩීසල් ජනත යන්ත්‍ර යොදාගැනීමෙන් ලංවීමට ඇතිවන මූල්‍යමය පාඩුව මෙමගින් වලකාගත හැක.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න