මේ ටීම් එකට පන්දුවාර 50ක් ඉන්න බෑ : අර්ජුන ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම පතුරු ගහයි !

මේ ටීම් එකට පන්දුවාර 50ක් ඉන්න බෑ : අර්ජුන ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම පතුරු ගහයි !

චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන බැවින් එය පැති කිහිපයකින් ශ්‍රී ලංකාවට ඍණාත්මක බලපෑම් එල්ල කරනු ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ පන්දුවාර පනහ ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයකු ලෙසට දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයකු සංචිතයේ සිටීම වැදගත් බවද අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

ඒ ඔහු අද (19) උදෑසන ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහනට එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍රජා සත්කාරක වැඩසටහන කඩවත දළුපිටිය ශාක්‍ය සිංහාරාමයේදී පැවැත්විණ.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රීඩකයින්ට නිදහසේ ක්‍රීඩා කිරීමට ඇවැසි වටපිටාව ඉක්මනින්ම ඇති කළ යුතු බවයි.

“පළමු වැනිව අපි මේ වෙලාවේ සංචිතය ගැන කතා කරනවාට වඩා තෝරා ගත් ළමයින්ට විශාල ශක්තියක් ලබා දිය යුතු වනවා. රටට ගෞරවයක් ගෙන එන්න ඔවුන්ට ශක්තිය සහ වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කළ යුතු වනවා. නමුත් දෙවැනුව ගැඹුරින් බලන විට මේ සංචිතය ගැන මට නම් සෑහීමකට පත් වෙන්න බැහැ. අපි ලෝක කුසලාන තරගාවලියකට යැවිය යුත්තේ ශක්තිමත් කණ්ඩායමක්. එහි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ද සිටිය යුතු වනවා. ඒ අතින් බැලූ විට මෙවර කණ්ඩායමට ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනකු ඇතුළත් නොමැති වීම ලොකු අඩුපාඩුවක්. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල්. චන්දිමාල් වැනි ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයෙක්. කණ්ඩායමට ඕවර් පනහ ගහන්න පුළුවන් ක්‍රීඩකයින් සිටිය යුතු වනවා. නමුත් අද එවැනි ක්‍රීඩකයින් අපේ කණ්ඩායමේ ඉන්නවද කියලා සැකයක් තියෙනවා. ඒ නිසා අපි එක එක්කෙනාගේ පෞද්ගලික රුචි අරුචිකම් මත කණ්ඩායමක් තේරිය යුතු නැහැ. එහෙම නොකළානම් මීට වඩා හොඳ කණ්ඩායමක් අපිට තෝරා ගන්න තිබුණා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

වැඩිදුරටත් ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ ලසිත් මාලිංගට එරෙහිව ක්‍රිකට් සභාපතිවරයා කළ වාග් ප්‍රහාරය කොතරම් දුරට කණ්ඩායමේ මානසිකත්වයට බලපානු ඇතිද යන්නයි.

“සූදුකාරයොයි, ක්‍රිකට් ගහපු නැති මිනිස්සුයි, ඔය ක්‍රීඩා සමාජවලට ටිකක් ක්‍රීඩා කරපු මිනිස්සුයි තමයි අද ක්‍රිකට් දුවන්න හදන්නේ. ඔවුන් හදනවා ක්‍රීඩයින්ට ක්‍රිකට් උගන්වන්න. විශේෂයෙන්ම පසුගිය දිනක ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හරහා ලසිත් මාලිංගට ක්‍රිකට් උගන්වන්න හැදුවා. ක්‍රිකට් සභාපතිවරයාට තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය කරන්න. ක්‍රිකට් ක්‍රීඩාව කරන්න නෙමෙයි. ක්‍රීඩාවට අත ගහන්න නෙමෙයි. අද සූදූකාරයෝ තමන්ගේ ක්‍රියාදාමය වෙන මිනිස්සු දාලා කරවනවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්….”යි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. දැන් රටක් හැටියට සියලු දෙනා එක්ව කණ්ඩායමට සුබ පැතිය යුතු යැයිද ඔහු අවධාරණය කළේය.

“දැන් කණ්ඩායම තෝරලා ඉවරයි. දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට එක් කිරීම බොහෝම අපහසුයි. ඒ සඳහා තියෙන්නේ සීමිත අවස්ථාවක්. ඒ නිසා දැන් තෝරා ගත් සංචිතය ලෝක කුසලානය සඳහා සූදානම් කිරීම වැදගත් වෙනවා. ලෝක කුසලාන තරගාවලිය කියන්නේ විශාල තරගාවලියක්. අවසන් පූර්ව තරගයකට එන්න තරග පහක් හයක් දිනන්න ඕන. එංගලන්තේ තියෙන්නේ. ඍණාත්මක තත්ත්වයන් වැඩියි. ඒ නිසා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම ක්‍රිකට් ගැන විතරක් හිතලා ඉදිරියට කටයුතු කරන්න ඕන. මනස එක අරමුණක තියා ගෙන ක්‍රීඩා කරන්න ඕන. එහෙම වුණොත් අපිට සෑහෙන දුරකට යන්න පුළුවන්….”

– තමීර මංජු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න