අද(21) උදෑසන ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එල්ල කළ බියගුළු ප්‍රහාර හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
මේ මොහොතේ සියලු ශ්‍රී ලාංකීකයින් එකමුතුව හා ශක්තිමත්ව කටයුතු කරන ලෙස ද අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කර සිටියේ, පදනම් විරහිත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.
එසේම රජය ඉතා කඩිනමින් මෙම තත්ත්වයට අවශ්‍ය පියවර ගන්නා බව ද අගමැතිවරයා නිවේදනය කරයි.
කට කතා වලට අහුවෙන්න එපා - ජනාධිපති සිරිසේන
මේ අතර සිදුවූ ඛේදවාචයකය ගැන තමා දැඩිව කම්පනයට පත්ව ඇති බව ජනාධිපති සිරිසේන පවසයි.
ලක්වැසි සියලු ජනතාව මේ සිදුවීම් හේතුවෙන් දැඩි සේ වේදනාවට පත්ව ඇති බව ද පැවසු ජනාධිපතිවරයා මේ සිදුවීම් පිළිබඳ වු කුමන්ත්‍රණය ගැන සොයා ගැනීම සඳහා මේ වන විටත් සියලු ආරක්ෂක අංශ උපදෙස් ලබා ගෙන කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සඳහා සියලු ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින බව ද පැවසු ජනාධිපතිවරයා සියලු දෙනාට සංසුන්ව කටයුතු කරන ලෙස පවසා සිටියේය.
කටකතා සහ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, මෙයට රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තුව 23 කැඳවයි !
පවතින හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා දින පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇත.
අද (21) දින සිදුවූ ප්‍රහාර හේතුවෙන් ඇති වී ඇති හදිසි තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කරු ජයසූරිය දන්වා ඇත.

