ලැබෙන ඕනෑම අවස්ථාවක ලෝකයේ ඕනෑම රටකට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බවට ISIS නායකයා ප්‍රකාශ කර ඇති බවත් මෙය මුළු ලෝකයටම අනතුරුදායක ප්‍රකාශයක් බැවින් අප අපේ රටේ ආරක්‍ෂක විධිවිධාන තර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදිගේ යැයි පැවැසෙන වීඩියෝවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (30) විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2019 අප්‍රේල් 30වන දා සිදුකළ විශේෂ ප්‍රකාශය
“ඊයේ අයිඑස්අයිඑස් නායක අබු බකර් අල් බග්දාදි වසර 4කට පසුව වීඩියෝවක පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කළා. මේ ප්‍රකාශය පිළිබඳව විදේශ බුද්ධිඅංශ තවදුරටත් පරීක්‍ෂණ පවත්වනවා.
එහිදී ඔහු සඳහන් කළේ ඔවුන් සතුව තිබූ අවසන් බලප්‍රදේශය වූ සිරියාවේ බග්ගුස් නගරය කුර්දි ප්‍රමුඛ මිත්‍ර හමුදා අල්ලා ගැනීමට පළිගැනීමක් ලෙස මේ ප්‍රහාරය එල්ල කළ බවයි. ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද අල් බග්දාදි කිව්වා.
ලෝකයම පොදු අවධානමක !
ඔහු ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ ලැබෙන ඕනෑම අවස්ථාවක ලෝකයේ ඕනෑම රටකට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බවයි. මෙය මුළු ලෝකයටම අනතුරුදායක ප්‍රකාශයක්. ඒ නිසා අපි අපේ රටේ ආරක්‍ෂක විධිවිධාන තර කළ යුතුයි.
පාස්කු ඉරිදා මේ ප්‍රහාරය සිදුවූ සැණින් අප මේ සම්බන්ධ කඩිනම් පියවර ගත්තා. සිදු වූ අඩුපාඩු ගැන වාද විවාද කරමින් හිඳීම වෙනුවට මම අනුගමනය කළේ තත්වය සමනය කොට රටේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පියවර ගැනීමටයි.
ඒ අනුව මේ වන විට ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ බොහෝ දෙනෙක් නීතියේ රැහැනට කොටු කරගන්නට ආරක්‍ෂක අංශ සමත් වී තියෙනවා. ඉදිරි ප්‍රහාරයන් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තුවුණු පුපුරන ද්‍රව්‍ය හා වෙනත් උපකරණ රාශියකුත් සොයා ගැනීමට හැකි වුණා.
අපේ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ සාර්ථකයි !
තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ. අපට ඉතා කෙටි කලක් තුළ මේ සියල්ල කළ හැකි වුණේ අපේ බුද්ධි අංශ සහ ආරක්‍ෂක හමුදා දැක්වූ නිපුණත්වය නිසායි.
අපේ බුද්ධි අංශවල දස දහසකට වැඩි දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ආරක්‍ෂක හමුදාවල ලක්‍ෂයකට අධික පිරිසක්. මේ සියල්ල සිය කටයුතු නිසි පරිදි සිදු කරනවා. ඒ නිසා අපි ළඟදීම මෙයට සම්බන්ධ ඉතිරි කීප දෙනාත් අල්ලා ගන්නවා.
සියල්ල අල්ලා ඇතත් අනතුර පහවගොස් නෑ !
නමුත් ඒ සියල්ල අල්ලා ගත්තත් අනතුර පහව යන්නේ නෑ. අල් බග්දාදිගේ ප්‍රකාශය අනුව ඔවුන් කුමනාකාර පසුබෑමකට ලක්වුණත් ඉදිරියටත් ලෝකයේ තැන තැන මෙවැනි ප්‍රහාර සැලසුම් කරන බව පෙනී යනවා.
මෙහිදී කළ යුත්තේ මුළු ලොවම එකක් හැටියට මේ ජිහාඩ් ත්‍රස්තවාදයට මුහුණ දීමයි. ඒ නිසා ත්‍රස්තවාදයට විරුද්ධ සියළු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලපොරොත්තු වෙනවා. බුද්ධි තොරතුරු හා විශේෂඥ දැනුම බෙදා හදා ගන්න අප බලාපොරොත්තු වෙනවා.
රටක් ලෙස එකට එක්වෙමු !
ඒ විතරක් මදි. රටක් හැටියට මේ අවස්ථාවේ අපි එකට එක්ව කටයුතු කළ යුතුයි. අපේ ආරක්‍ෂාව දේශීය හා විදේශීය යන සියළු පාර්ශවයන්ගෙන් ශක්තිමත් කරගත යුතුයි. කිසි විටෙක ආරක්‍ෂක හිදැස් ඇති නොවීමට වග බලා ගත යුතුයි.
බොර දියේ මාළු බාමින්, මේ අසීරු අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපාර වල යෙදෙන ව්‍යාජ දේශප්‍රේමීන් හා ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය පිළිබඳවත් අපි අවධානයෙන් සිටිය යුතුයි.
මේ අයට අවශ්‍යව ඇත්තේ වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි. වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නයි. ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන් කියනවා.
කළු මාධ්‍ය හැසිරීම අන්තිමයි !
පසුගියදා කැබිනට් රැස්වීමේදී මම නිකාබ් ඇඳුම් තහනමට විරුද්ධ වුණා කියා සමහර ජනමාධ්‍ය විශාල ඝෝෂාවක් කළේත් ඒ සැලැස්මට අනුවයි. ඇත්ත වශයෙන්ම මුස්ලිම් ආගමික නායකයන් කළ මේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩලයම එකඟවුණා. නමුත් ජනමාධ්‍ය කළ මේ බොරු ප්‍රචාරයට අපේ සමහර ගිහියන් පමණක් නොව ආගමික නායකයිනුත් රැවටුණා.
එයින්ම පැහැදිලි වෙනවා මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කිරීමේ පල විපාක. වෙසක් දිනයේ වටිනාකම නොදන්නා, වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැරසෙන මෙවැනි ජනමාධ්‍ය අදහන්නේ කුමන ධර්මයක් දැයි මට හිතාගන්නට අමාරුයි.
මෙය සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි. ගෝලීය ත්‍රස්තවාදයට අප ගොදුරු වූ අවස්ථාවක්. ඉදිරියටත් ගෝලීය ත්‍රස්තවාදයේ අනතුරට මුහුණ පෑමෙන් වැළකීමට අප සූදානම් විය යුතු අවස්ථාවක්.
එවන් අවස්ථාවක ආගමික ගැටුම් හා වාර්ගික ගැටුම් ඇතිකරලීම සඳහා බොරු ප්‍රචාර පතුරවන පුද්ගලයන් හා ජනමාධ්‍ය පිළිබඳව දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා.
නුවණින් විමසා වැඩ කරන්න !
මේ අවස්ථාවේ මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ විවිධ මාධ්‍ය ඔස්සේ කණට ඇසෙන දේ, ඇසට පෙනෙන දේ අමු අමුවේ විශ්වාස නොකර ඒ සියල්ල පිළිබඳව නුවණින් විමසා බලන ලෙසයි.
ඉදිරියේ බෞද්ධ අපි ඉතා ඉහළින් සමරන වෙසක් දිනය එළැඹෙනවා. වෙසක් දිනය කල් දමන්නට පුළුවන් එකක් නෙවෙයි. වෙසක් දිනයේ අප දාන, ශීල, භාවනා ආදී වතාවත් සිදු කරනවා.
විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව තම තමන්ගේ දායක සභා සමග සාකච්ඡා කොට සුදුසු පියවර ගනීවි යැයි මා විශ්වාස කරනවා. ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ අවශ්‍ය උපදෙස් ලබා දීමට සූදානම්.
මේ අවස්ථාවේ අප සියළු දෙනාම කළ යුත්තේ රට වෙනුවෙන් අත්වැල් බැඳගැනීමයි. රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය ලබා දීමයි. මේ ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ දේශීය හා විදේශීය වශයෙන් අප සියළු දෙනාම එකට එක්ව වගකීමෙන් කටයුතු කිරීමෙන් බව සිහියේ තබා ගැනීමයි.
ඒ නිසා ඒ වගකීම් සිහියේ දරාගෙන අපි සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩකටයුතු ආරම්භ කරමු. විමසිල්ලෙන් ක්‍රියා කරමු. ආරක්‍ෂක අංශ ඔබේ යහපත වෙනුවෙන් ඇප කැපවී සිටිනවා.

