ඇමරිකාව අන්තවාදී සංවිධාන නිර්මාණය කර නඩත්තු කර මුස්ලීම් ප්‍රජාව බේද කර පටු අරමුණු ඉටුකරගත් ආකාරයට රාජපක්ෂ රෙජීමයද කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.
ඊයේ (30) රූපවාහිනී දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේය.
එපමණක් නොව අන්තවාදී සංවිධාන වෙනුවෙන් මුදල් වියදම් කිරීමට පමණක් නොව ඔවුන් වෙනුවෙන් අණපනත් සම්මත කරගැනීමට පවා රාජපක්ෂ පාලන සමයේ කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එසේම ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද සඳහන් කර සිටියේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන සමයේ අන්තවාදී සංවිධාන වල සාමාජිකයන්ට බුද්ධි අංශ සාමාජිකයන් කියමින් වැටුප් ගෙවා ඇති බවය.
තවද මඩකලපුව පොලිස් මුරපොලකදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා මේ වන විට ගෝඨාභය සමඟ සිටින විශ්‍රාමික හමුදා ප්‍රධානින් හතරදෙනෙකු සහය ලබාදී ඇති බවයි.
මාධ්‍ය වාර්තා මෙන්ම මේ වන විටත් තහවුරු කරගෙන තිබෙන තොරතුරු පදනම් කරගෙන දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන සමයේ සිංහල මෙන්ම මුස්ලීම් අන්තවාදී සංවිධාන නිර්මාණය වන විට ඒවා නඩත්තු කිරීමට සහය ලබාදී ඇති බවය.
රාජපක්ෂ පාර්ශවයේ තර්කය !
ඒ හේතුවෙන් මේ වන විටත් රාජපක්ෂ පාර්ශවය සඳහන් කරන "ගෝඨාභය සමයේ බුද්ධි අංශ ශක්තිමත්ව තිබු බව " තර්කය මුළුමනින්ම අහෝසිව යන බවත් මෙම සමාජ මිත්‍යාව මහා වන්දි ගෙවීමකින් පසුව අවබෝධකර ගැනීමට සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
රාජපක්ෂ පාලන සමයේ සිට නිර්මාණය කෙරුණු මිත්‍යා මත රැසක් සමාජයේ පවතින බවත් සිදුවූ අවාසනාවත අත්දැකීම පාඩමක් කරගෙන නිවැරදි වීමට නම් දැන් හෝ ඒ පිළිබඳ විද්වත් සංවාදයක් ඇරඹිය යුතු බවද දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
ජාතික ආරක්ෂාව සම්බන්ධව රාජපක්ෂ මිත්‍යාව පිළිබඳ කරුණු දක්වමින් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ජාතික ආරක්ෂාව යනු පොළවේ ආරක්ෂාව පමණක් වැනි අදහසක් සමාජයේ මුල්බැස ඇති බවය. නමුත් ජාතික ආරක්ෂාව යනු පොළව, රට යන්න පමණක් රටේ ජීවත්වන සියළු පුරවැසියන්ගේ සහ දේපළ වල ආරක්ෂාව තහවුරු කිරීම බවත් ඔවුන් පෙන්වා දෙයි.
බුද්ධි අංශ ශක්තිමත් නම් අධිආරක්‍ෂිත කලාපවල මිනිසුන් ඝාතනය වුණේ කොහොමද ?
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන දේශපාලන විචාරකයන් මෙසේද සඳහන් කරයි.
ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ අධිආරක්ෂිත කළාපයක මහ දවාලේය. එසේම පොද්දල ජයන්ත සහ කීත් නොයාර් යන මාධ්‍යවේදීන් සුදුවෑන් පැහැරගැනීම් වලට ලක්වන්නේ සහ මාරාන්තික පහරදීම් වලට ලක්වීමද එසේය. මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මාරාන්තික ප්‍රහාරයකට ලක්වන්නේද දවාලකය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නටරාජා රවිරාජ් ඝාතනය සහ තාජුඩීන් ඝාතනයට පවා අභිරහසක් වුවා පමණය.
එපමණක් නොව වෙඩි තියා , ක්ලේමෝ බෝම්බ ගසා, ගිනි තබා මාධ්‍ය ආයතන 9ක් විනාශ කළේද ඒ සමයේය. මේ කිසිවක චුදියතන් සිටියේ නැත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව බීබීසී මාධ්‍ය ජාලයේ විදෙස් මාධ්‍යවේදියකු ප්‍රශ්න කරන විට ගෝඨාභය එදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පෙරළා මාධ්‍යවේදියා වෙතින් විමසන්නේ "ලසන්ත කියන්නේ කවුද ?" කියාය. දිගින් දිගටම ඒ සම්බන්ධව ප්‍රශ්න කරන විට ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් වූ ගෝඨාභයගේ ස්වරූපය පවා වෙනස් වෙයි.
මේ සෑම ඝාතනයක්, පැහැරගැනීමක් සහ මාරතික ප්‍රහාර ගැන එදා බුද්ධි අංශ වාර්තා පළවුයේ නැත. එසේම මේ සෑම සිදුවීමක් තුළ වූ පොදු ලක්ෂණය වුයේ ඔවුන් එදා පැවති රාජපක්ෂ රෙජීම පාලනයට එරෙහි ස්ථාවරයක සිටීමය. තවද ඉහත සඳහන් කර ඇත්තේ රටේම අවධානයට ලක්වූ සිදුවීම් කිහිපයක් පමණය. රාජපක්ෂ පාලන දශකයේ කොළඹ අතුරුදහන්වූ තරුණයන් 11 දෙනාගේ සිට අභිරහස් පැහැරගැනීම්, ඝාතන රැසක් සිදුවිය.
දේශපාලන ඝාතන ගැන බුද්ධි වාර්තා එදා ලැබුණේ නැද්ද ?
නමුත් ඒ කිසිවක් සම්බන්ධව බුද්ධි අංශ අනාවරණය කරගත් බවක් වාර්තා වූයේ නැත. එසේ නම් රාජපක්ෂ පාලන සමයේ, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ සමයේ බුද්ධි අංශ ශක්තිමත් යැයි කියන්නේ කෙසේද ? ජාතික ආරක්ෂාව තහවුරු කල බව කියන්නේ කෙසේද ? සියල්ලටම වඩා මෙහිදී වැදගත් වන්නේ මේ සිදුවූ බොහෝ අපරාධ සිවිල් යුද්ධයට පසුව සිදුවූ ඒවා වීමය.
එපමණක් නොව මේ වන විට රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දේශපාලන අපරාධ රැසක් සිදුකර ඇත්තේ විශේෂ බුද්ධි කණ්ඩායමක් බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත. එසේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව පවා බුද්ධි අංශ නිසිලෙස තම රාජකාරි සිදුකර අවශ්‍ය වාර්තා ලබාදී ඇත. ඒ අනුව මේ වන විට බුද්ධි අංශ දුර්වල බව පැවසීමට කිසිඳු ඉඩක් නැත. අඩුපාඩුව සිදුව ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය පැත්තෙන්ය. ඒ ඉදිරි කටයුතු වෙනුවෙන් අවශ්‍ය විධාන නිකුත් නොවීමය.
එසේ නම් රාජපක්ෂ පාලන සමයේ බුද්ධි අංශ ශක්තිමත් බව සහ වර්තමානයේ දුර්වල බවට ගෙනෙන තර්කයට පදනමක් නැත. පදනමක් ඇති එකම තර්කය වන්නේ අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන් නිදහස් කරන ලෙසට රාජපක්ෂවරුන් ගෙනයන සටන් පාඨයේ පමණි. මන්ද ඔවුන් සිරගත කර සිටින්නේ රාජපක්ෂලාගේ දේශපාලන අපරාධ සඳහා රාජකාරියෙන් පිට වැඩ කිරීමට ගියනිසා වීමය.

