දේශපාලනික හේතු මත එල්ල වූ තර්ජන නිසාවෙන් ජිවිත ආරක්ෂාව පතා සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට එවා සිටින පාකිස්තානු ජාතිකයින් 600ක් පමණ යළි පකිස්ථානය වෙත පිටුවහල් කිරීමට ජනාධිපති සිරිසේන නියෝග කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපති සිරිසේන මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාවට වැදගත් යැයි කරනු ලැබූ තක්සේරුවකින් පසුව බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙම සරණාගතයින් පිරිස ප්‍රදේශයෙන් ඉවත්කරන ලෙස ගම්වාසින් උද්ඝෝෂණය කර ඇති අතර එල්ලවූ ජීවිත තර්ජන නිසාම මේ සරණාගත පිරිස මීගමුව පොලිසිය වෙත යනු ලැබිණ.
කෙසේවුවත් ජනාධිපති සිරිසේන මේ නියෝගය නිකුත්කර ඇත්තේ මෙම සරණාගත කණ්ඩායම වෙත එල්ලවී ඇති තර්ජන හා පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී කරුණු සලකා බලා එම පිරිස වව්නියාවේ තුම්තොටම් හි පදිංචි කරවීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති කැමැත්ත පළකර උතුරේ හා දකුණේ ආණ්ඩුකාරවරුන්ද එම සරණාගතයින් ගෙන් පිරිසකට තම ප්‍රදේශ තුල තාවකාලිකව නවාතැන් දීමට එකඟත්වය පළකර තිබෙන පසුබිමකය. එසේම, එම සරණාගතයින් සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශ ද එකඟතාවය පළකර තිබෙන පසුබිමකය.
ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විද්වතුන් මේ සම්බන්ධව සඳහන් කර සිටින්නේ ජනාධිපති සිරිසේනගේ මේ තීරණය මෙරට විදෙස් සම්බන්ධතා කෙරෙහි දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවය.
ඒ මෙම පකිස්තානු සරණාගතයන් මීගමුවේ සහ පස්යාල යන ප්‍රදේශවල තාවකාලික කුලී නිවාස වල පදිංචිව සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචිය යටතේ වීමය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග රටට ඇති සම්බන්ධය මත එක රැයකින් සරණාගත ප්‍රජාව පිටුවහල් කිරීමට නොහැකි බවත් මේ හේතුවෙන් විදේශ අමාත්‍යාංශයද බරපතල අර්බුදයකට මුහුණදෙනු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
එසේම ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ ජනාධිපති නිකුත්කර ඇති මේ නියෝගය එක්සත් ජාතීන්ගේ සංවිධානය බරපතල ලෙස සලකනු ඇති බවත් මෙරට විදේශ ප්‍රතිපත්තියද ඒ හමුවේ කැළලක් විය හැකි බවය.
මීට පෙර රෝහින්යා සරණාගත පිරිසට මරණ තර්ජන කිරීමේ අපකීර්තිමත් ඉතිහාසයක් මෙරටට ඇති බවත් ඒ අවස්ථාවේද ජාත්‍යන්තර සංවිධාන රැසක් ලංකාව බරපතල ලෙස විවේචනය කල බවත් ඔවුන් සිහිපත් කරයි.

