Language Switcher

V2025

ජනාධිපති මෛත්‍රීගේ නිල කාලය වසර පහයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර පහක කාලයක් පදවියේ කටයුතු කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරයකගේ තීන්දුව වී ඇතැයි නිල නොවන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල කාලය අවසන් වෙන නිශ්චිත කාල සීමාව පිළිබඳව විමසමින් අධිකරණය වෙත යොමු කර තිබු ඉල්ලීම සලාක බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය තම මතය ඊයේ (14) ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පැවසේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රසිද්ධ කිරීම හෝ නොකිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අභිමතය අනුව සිදු වෙයි.

කෙසේවුවද ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් අතරින් තිදෙනෙකු විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය වසර හයක් ලෙස නිගමනය කර ඇති බවයි.

නීතිපතිගේ ස්ථාවරය :

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජනවාරි 11දා මෙම කාරණය සළකා බලන ලද අවස්ථාවේදී අදහස් දැක්වූ නීතිපති ජයන්ත ජයසූරිය මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වසර හයක කාලයක් පදවියේ කටයුතු කළ හැකිය යන්න තම මතය බව අවධාරණය කර සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල කාලය 19 වන සංශෝධනය සම්මත කිරීමට පෙර ආරම්භ කර ඇති හෙයින් එම සංශෝධනයේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකට සීමා කරනු ලැබීම ඔහුට බල නොපාන බව නීතිපතිවරයාගේ තර්කය විය.

ජනතාව වසර හයකට පත් කළ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයට අමතරව ජනමත විචාරණයක් මගින් ජනතා කැමැත්ත ද අවශ්‍ය කරන බව නීතිපතිවරයා පැවසිය.

"එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් පත් වුනාම බලයේ සිටින ජනාධිපතිවරයකුගේ කාල සීමාව වසර දෙකක් හෝ තුනක් විය යුතු යයි නීති ගෙනැවිත් එම කාලය සීමා කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් වෙනවා. ජනමත විචාරණයක් අවශ්‍ය ඒ නිසයි" නීතිපති ජයන්ත ජයසුරිය මහතා, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කියා සිටියේය.

19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ සඳහන් වසර පහක ධූරකාලය මීළඟට පත් වෙන ජනාධිපතිවරයාගේ පටන් අනාගතයට වලංගු වන බව ඔහුගේ මතය විය.

නීතිපතිගේ මතය අභියෝගයට :

ඒකාබද්ධ විපක්ෂයේ ජී.එල්.පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා නීතිපතිවරයාගේ මතය අභියෝගයට ලක් කරමින් ජනාධිපතිවරයාට ධූරයේ කටයුතු කළ හැක්කේ වසර පහක් පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් බව පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ජනාධිපතිවරයාට ද බලපාන බව එහි පැහැදිලිව සඳහන් කර ඇති බව පැවසූ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා, ජනාධිපතිවරයාට ඒ ගැන ගැටළුවක් තිබුණේ නම් එම අවස්ථාවේ ඒ ගැන අධිකරණය යා හැකිව තිබු බවත් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියෙන් උපුටා ගත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළ නීතිවේදියා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් සිය ධූරකාලය අඩු කිරීමට කැමැත්ත පළ කර ඇතිබව පැවසීය.

 ms 2පදවියේ නිල කාලය වසර හතරකට සීමා කළ යුතු යයි තමා යෝජනා කළ බව ජනාධිපතිවරයා පවසා ඇත.

 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර 2015 ජනවාරි 26 වැනි දින උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූරකාලය ගැන මෙලෙස අදහස් දක්වා තිබුණි.

"විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීලා කටයුතු කිරීමේ කටයුතු මේ දිනවල කර ගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා ''මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්. මේක අවුරුදු හතරක් කරමුයි කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරට කැමති වුනේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියල හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒ ගොල්ලෝ කැමති වුනා. දැන් (අවුරුදු) හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා, පහෙන් ගෙදර යන්න ඒක මගේ ප්‍රතිපත්තිය"

ජනාධිපතිවරයාගේ ඉහත කී ප්‍රකාශය ඔහුගේ ධුර කාලය වසර පහක් කිරීමට කැමැත්ත දීමේ ප්‍රකාශයක් ලෙස ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා විසින් විග්‍රහ කරනු ලැබුණි.

වසර හයකට පත් වූ ජනාධිපතිවරයකුගේ ධූර කාලය අඩු කිරීම ජනතාවගේ ඡන්ද බලය හා පරමාධිපත්‍යයට බලපාන කරුණක් වන බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ තර්කයට අභියෝග කළ ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා, එවැනි බලපෑමක් ඇති කෙරෙන්නේ ඡන්දයක් කල් දැමීම නිසා වන අතර ඡන්දයක් පෙරට ගැනීම තුළින් එවැනි බලපෑමක් ඇති නොවන බවට ප්‍රතිතර්කයක් ඉදිරිපත් කළේය.

chandrika kumaratunga Reuters 38019 අතීතයට බල නොපාන්නේ නම් චන්ද්‍රිකා හා මහින්දටත් යළිත් අවස්ථාවක්?

ජනාධිපතිවරයාට 19 ව්‍යවස්ථා සංශෝධනය බල නොපාන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා චන්ද්‍රිකා කුමාරතුංගට ද එම සංශෝධනය බල නොපාන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ අදහස විය.

ජනාධිපති පදවිය දැරිය හැක්කේ දෙවරක් පමණක් බවට 19 වන සංශෝධනය මගින් ගෙන ආ නීතිය බලපාන්නේ 19 වන සංශෝධනය යටතේ ජනාධිපති පදවියට පත්වූ අයට පමණක් බවට ඔවුන් දෙදෙනාටත් කියා සිටිය හැකි බව පැවසූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය වසර පහක් පමණක් බව තම මතය බව කියා සිටියේය.

ආචාරය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අදහස් දක්වමින්, 2015 ජනාධිපතිවරණයේදී ලක්ෂ හැට දෙකක් ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලතල හා ධුර කාලය අඩු කිරීම අනුමත කර ඇති බව සඳහන් කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ උලපනේ සුමංගල හිමියන්, ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා ජනාධිපතිවරයාට වසර හයක් කටයුතු කළ හැකි බවට තර්ක කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා 'කැෆේ' මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද තම නීතිවේදීන් මාර්ගයෙන් ජනාධිපතිවරයාගේ කාලය 2020 දී වසර පහක කාලයකින් අවසන් වන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියහ.