පොරොන්දු වුණේ අප්‍රේල් 27 : තව්හිද් ජමාත් තහනම් කළ ගැසට් එක කෝ ?

පොරොන්දු වුණේ අප්‍රේල් 27 : තව්හිද් ජමාත් තහනම් කළ ගැසට් එක කෝ ?

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ඉස්ලාම් අන්තවාදී සංවිධාන දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බවට ජනාධිපති සිරිසේන විසින් අප්‍රේල් 27 වනදා නිවේදනය කළත් එය අද (06) උදෑසන වන විටත් කඩකළ පොරොන්දුවක් බවට පත්ව ඇත.

ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය අංශය පවා අප්‍රේල් 27 විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර සිටියේ 2019 අංක 1 දරණ හදිසි නීති රෙගුලාසි යටතේ ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි(JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනාධිපති සිරිසේන නියෝග කර ඇති බවය.

කෙසේ වුවත් මේ ආකාරයට මෙම සංවිධාන තහනම් නොකිරීම හේතුවෙන් එම සංවිධාන සතු මූල්‍ය සහ අනෙකුත් දේපළ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට ආරක්ෂක අංශ වෙත නොහැකිව ඇත.

එමෙන්ම මෙම සංවිධාන සදහා මුල්‍ය අනුග්‍රහය ලබාදී ඇති පුද්ගලයන් , ව්‍යාපාර හෝ ආයතන මූල්‍ය වාර්තා විමර්ශනය කිරීමේ දුෂ්කරතාවක් ද මතුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සහ ජනාධිපති ලේකම් කතා දෙකක් කියයි !

එමෙන්ම සැකකරුවන් බොහෝ දෙනෙකු "තහනම් නොවන සංවිධානයක සාමාජිකයන්" පදනමින් අධිකරණ ඇප ලබා ගැනීමේ අවධානමක් ගැනද විමර්ශන කණ්ඩායම් වල අවධානය යොමුව ඇත.

මේ අතර ජනාධිපති ලේකම් උදය ආර්. තෙන්නකෝන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ අද (06) දිනය තුළ හෝ ගැසට් පත්‍රය නිකුත්කරන්න කටයුතු සකසන බවය.

නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ශාන්ත කෝට්ටගොඩ ඒ සදහා ලිඛිත අනුමැතිය ලබාදිය යුතු බවත් ඔහු සදහන් කර ඇත.

එමෙන්ම මේ සංවිධාන දෙක තහනම් කිරීමට අදාල ගැසට් පත්‍රය නිකුත්කරන තීන්දුව ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා (03) ආරක්ෂක මණ්ඩලය හමුවූ අවස්ථාවේ බවත් ජනාධිපති ලේකම් පවසා ඇත.

එයින් පැහැදිලි වන්නේ ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය අංශයේ සහ ජනාධිපති ලේකම් නිකුත්කල නිවේදන අතර ඇති පරස්පර ස්වභාවයය.

එපමණක් නොව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු සදහන් කරන්නේ අදාල ගැසට් නිවේදනය නිකුත්කරලීමේ ක්‍රියාවලිය බුද්ධි අංශ කළ දැනුම්දීමක් අනුව අඩපණ වූ බවය. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ මෙම සංවිධාන දෙක සමග තවත් සංවිධාන කිහිපයක් තහනම් කල යුතු බව බුද්ධි අංශ දැනුම්දී ඇති බවය.

පැහැදිලි චෝදනා ඇති සංවිධාන තහනම් කිරීමේ පමාව කොතනද ?

ඒ කෙසේ වුවත් ලැබෙන විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙරට නීති කටයුතු සම්පාදක ආයතන මෙතෙක් අනුමැතිය ලබාදී ඇත්තේ ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි(JMI) යන සංවිධාන තහනම් කිරීමට පමණක් බවය.

එසේම එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ ජනාධිපති සිරිසේන මෙම ගැසට් නිවේදනය සදහා අවශ්‍ය නියෝගය ලබාදීමේ තත්ත්වයක් පෙනෙන්නට නැති බවත් එක් රැයකින් ආණ්ඩුවක් වෙනස් කර ගැසට් නිවේදන නිකුත්කර ඇති රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව තීරණාත්මක සංවිධාන දෙකක් තහනම් කිරීමට ගතවන කාලය අදහාගත නොහැකි බවත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න