Language Switcher

V2025

දැන් දින 16 යි : අන්තවාදී සංවිධාන තහනම් කළ ගැසට් එක කෝ !

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් ජනාධිපති සිරිසේන කටයුතු කර නැත.

මෙම  සංවිධාන තහනම් කිරීමට කටයුතු කරන බවට ජනාධිපති සිරිසේන  ප්‍රකාශ කර මේ වන විට දින 16ක් ගතවී ඇත.

හදිසි නීතිය පැනවීමත් සමග ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු සලසා ඇති බව ජනාධිපති සිරිසේන  විසින් නිවේදනය  සිටියේ  පසුගිය 27 වැනිදාය.


එසේ වුවද, එම ත්‍රස්ත සංවිධාන තහනම් කිරීමට අදාළ නිල ගැසට් නිවේදනය මේ වනතෙක් රජය විසින් ප්‍රකාශයට පත්කර නොමැත. 

හදිසි නීතිය යටතේ වුවද එම සංවිධානය තහනම් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවත්, එය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට හදිසි නිතීය පැනවීම පසුගිය මස 24 වැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සිදු කළ නමුත් එය  වලංගු කාලය වන්නේ මාසයක කාලයක් සඳහා පමණය. ඒ හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ යුතුව ඇත.

වඩාත් නිවැරදි නම් කල යුතුව තිබුණේ ජනාධිපතිගේ  චීන සංචාරයට ප්‍රථම අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමය. එහෙත් එවැන්නක් සිදුව නැත. කිසිවක් නොකළ ජනාධිපති සිරිසේන 27 දෙනෙකුගෙන් සමන්විත ධූත මණ්ඩලයක් සමඟ අද (13)  සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත.

අප්‍රේල් 27 සිරිසේනගේ නිවේදනය !

ජාතික තවුහීද් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම්  ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට පියවර ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් මස 27 වැනිදා නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම්  ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපොළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.
මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.