නඩු එක දිගට කල්යවන : ගෝඨාගේ ලෙඩේ මොකක්ද ?

නඩු එක දිගට කල්යවන : ගෝඨාගේ ලෙඩේ මොකක්ද ?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව නැවත ලබන 23 කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

නඩුව අද(21) කැඳවූ අවස්ථාවේදී සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර නොමැති හෙයින් මෙම නඩු විභාගය සඳහා දින නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් එම අධිකරණය දුන් අතුරු නියෝගයකට එරෙහිව තම සේවාදායකයා අභියාචනාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එය අද දින සලකා බැලීමට නියමිතව තිබෙන බවත් සඳහන් කළේය.

විශේෂ මහාධිකරණය මගින් ලබාදෙන අතුරු නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ කුමන අධිකරණයට ද යන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා තම සේවාදායකයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි වැඩිදුරටත් කියා සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි තම සේවාදායක ගෝඨාභය රාජපක්ෂට මේ මස 24 වනදා සිට ජුනි මස දෙවනදා දක්වා කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා නැවත විදෙස් ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඊට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා විරෝධය පළකර නැති බවත් වාර්තා වෙයි.

ඒ අනුව එම ඉල්ලීම ලබන 23 වැනිදා සලකා බලන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළ අතර එදිනම මෙම නඩුව විභාගයට ගන්නා දිනය පිළිබඳව තීරණයක් ලබා දෙන බවද පවසා ඇත.

ඉකුත් රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න