ප්‍රති ත්‍රස්ත පනතක් : කඩිනමින් අවශ්‍යයි - අගමැති රනිල්

ප්‍රති ත්‍රස්ත පනතක් : කඩිනමින් අවශ්‍යයි - අගමැති රනිල්

අයි.එස් ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රති ත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ වගකීම නිසි අයුරින් දරමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීමට ක්‍රීයාකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් මාතලේ සංඝමිත්තා විදුහලේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අයි.එස්. ත්‍රස්තවාදයේ පදනම ජාතිවාදය බවයි. ඒ බව අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා අනන්‍යතාවය පදනම් කොට ගත් ප්‍රති ත්‍රස්ත වැඩසටහන් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ සැලසුම් සකස් කළ යුතු බවද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රාජ්‍ය සේවය ගමට ගෙන යෑමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහි පළමු පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින මාතලේ සංඝමිත්තා කාන්තා විද්‍යාලයේදී ආරම්භ වූ අතර, ඊට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ එම දෙපාර්තමේන්තු හා අමාත්‍යංශවලට අයත් මහජන සේවා ලබාදීමේ කාර්යාල විද්‍යාල භූමියේ ආරම්භ කර තිබිණි. ඒ කාර්යාල වෙත පැමිණි මාතලේ දිස්ත්‍රික් ජනතාවට සිය සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි විය.

උප්පැන්න සහතික, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් සකස් කර දීම ඇතුළු රාජ්‍ය සේවයෙන් ඉටු කරන මහජන සේවාවන් රැසක් ලබාගැනීමේ පහසුම් රාජ්‍ය සේවයේ ගමට වැඩසටහන යටතේ ඇති කර තිබිණි

එම උත්සවය අමතා තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූයේ අයි.එස්. සංවිධානය වෙත පුද්ගලයන් එක්වීම වැළැක්වීම, ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම හා යම් හෙයකින් ප්‍රහාරයක් සිදුව හොත් එයට මුහුණදීම යන අංශ තුන පිළිබඳවම සැලකිල්ල යොමු කළ යුතු බවය.

ලෝකයේ නවීන තාක්‍ෂණය භාවිත කරන ජාත්‍යන්තර බුද්ධි අංශවල සහය සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට අප කටයුතු කළ බව ද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජත සේනාරත්න, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රාන සංවිධායක ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයාගමගේ, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම් හලීම්, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න